Sunday, April 26, 2015

අවුරුදු තහනම්

අවුරුද්ද
එපා එන්න
මේ පාරත්
අපේ ගෙදර

කොවුලාට කියනවද
මෙහෙ නැතුව
වෙන ගමකට යන බස් පාර

එරබදු මල්වලට
එපා පිපෙන්නට දෙන්න
රතු පාට හංගන්න

අප්පච්චි මිය ඇදුණේ
හතර අවුරුද්දකටත් කලින්
කුඹුරු කෑල්ල අස්සද්දන ගෙනාපු
මැහි තෙල් කුප්පියම අප්පච්චි ගිලල දාල

ගමේ උන් කිව්වට
අප්පච්චි රටටම ණයයි කියල
අප්පච්චි දහිරිය ගත්තේ මේ කුඹුර අස්සද්දන්න
කොල්ලන්ට උගන්නන්න, කෙල්ලව දීග දෙන්න

අප්පච්චිට මග  ඇරුන
ඒ හීන ගොඩ දාන්න
මුළු ගමේම
බලාපොරොත්තු එක්කහු කරන්
කැම්පස් ගිය
ලොකු අයියා
ගමට ආවේ
සුදු ඇදගෙන හිස් අතින්ම
සහෝදරයන්ගේ කර උඩින්

ගමෙන් යද්දී
අයියට උන්
එකම සහෝදරය මමයි
ඊට පස්සේ කොඩි අදින්න
තේ අල්ලන්න කතා පවත්තන්න
අයිය වෙනුවෙන් ටීවී එකේ
කෑ ගහන්න
සහෝදරයෝ බර ගානක්
මල ගෙදරට
ඇවිත් හිටියා

තුන් මාසය යන්න කලින්
උන් ඔක්කොම
අතුරුදහන්

අපේ අම්මට
හැදුනු ලෙඬේ
හොයා ගත්තේ ඊට පස්සේ
වකුගඩුවක් අක්‍රියයි

අම්ම එක්ක කිලිනික් ගිය
අපේ අක්ක
ඉස්පිරිතාලේ
උඩම තට්ටුවෙන් බිමට පැනලා

අම්මගේ ලෙඩ හොයා
ගත්තු දොස්තර මහත්තුරුන්ට
හොයා ගන්න බැරිම උනේ
අක්කට හැදුනු
ලෙඬේ විතරමයි

අක්කාගේ යට සායක්
ලොකු දොස්තර මහත්තයගේ
කාමරේදී හම්බ වෙලා

ඒ උනාට
ඒ කාමරේදීම
සිය දිවි නසා ගැනීම නිසා සිදු වූ මරණයක්
කියල අච්චුවෙන් සනාථ කළා

ඉතින්
අවුරුද්ද
මේ පාරත් මෙහෙ නෑවිත්
පිට පාරේම
ගමෙන් යන්න

No comments:

Post a Comment