නෙත ගැටුණු කවි කුසුමන්

නිවන
 

සැබෑවක්ය
නිර්වාණය පවත්නේය

නුබ නුඹේ බැටළු රැළ
හරිත වර්ණයෙන් වැසී ගිය
තණපිටියක කැඳවා ගෙන
යන මොදහාතේ එය පවතී

නුඹ නුඹේ මොළකැටි දරු පැටියා
සුමුදු තොටිල්ල මත
සතපන මොහොතේ
නිවන වේය එතැන

නුඹ නුඹේ කාව්‍යයෙහි
අවසන් පැදි පෙළ
ලියනා මොහොතේ
නිවන එතැන වේය

[මම වෙමි ද නොවෙමි ද නොවෙමි - 1999]

Khalil Gibran | ඛලීල් ජිබ්රාන්
පරිවර්තනය - මණ්ඩාවල පඤ්ඤාවංස හිමි
නෙත ගැටුනේ බූන්දි අඩවියේදී

______________________________________________________________________________________________________________________________________________________________________________________________________
___________________________
මුද්දර පොත
 
අක්ෂර සෙනග 2009- නිර්මාණ තරගය- විවෘත අංශය- කවි: අවසාන වටයට තේරුණු නිර්මාණයකි.
ඉඳහිට සැඳෑවක
හිඳ පිලමත
බලනෙමි
පුතු තනන
මුද්දර පොත
දෝතින් ගෙන

පෙරළා
පිටුවෙන් පිටුව
නාඳුනන දේශයක
සැරිසරන්නෙකු ලෙස
සොයයි මා හදවත
ඈ වුවන...

ඉඳිකඩට නුදුරින
ඇසෙත
සීනු නද
ඉපිලේ මපුත
අලුත් මුද්දරයකැයි කියමින්
තම පොතට

රට මුද්දරය යට
හසුනක
අකුරුවැල් උසුලාගත්
කඳුළු බර
නොදැනම...
  Eradhini Hasini Lanka | එරාධිනි හසිනි ලංකා

  නෙත ගැටුනේ බූන්දි අඩවියේදී
______________________________________________________________________________

සඳවතිය, ජීවිතය සහ මුර කුටිය
 
 
පරිවාර තරු
කවුළුවෙන් එබෙන විට
මා කවි ලිවිය යුතුමය
හැමදාම
නිමිත්තක් පුරනවා
රෑ අහස....
මේ මුර කුටිය අයිති
සඳවතියට
මගේ සේවය ඇයටය....
විරසක උනදාට
සළු උනා ඈ යන්න යනවා
දැන දැනම
මා අකමැති බව හිරුට....

දෑළවට තරු පොකුරු ගැහුනට
ළෙංගතුකම් කිති කැවෙන්නේ
දුරින් හිඳ අත වනන කොට
දන්නවා මගේ ආදරේ තරම
මා වටින්නේ
ඒ නිසයි ඇයට....
අනුන්ගෙම වස්තුව රකින
සංසාර ගමනකට
නිබද අත්සන තබන
ගනුදෙනුකාර ජීවිතයක
'තනිය'
මට දැනෙන්නේ අමාවකදාට....
අදුර දන්නවා යැ
ආදරේ පාට....

ඔබ ඔතැන - මා මෙතැන
කමක් නෑ
විසඳන්න පුළුවන් අපට
මේ නිශාචර
සෞන්දර්ය සමීකරණය
මා දන්නවා ඔබ දන්න බව
ආසන්න අගය....
අකුරු නැති කවි ලියයියැ
නැතිනම් ඔහොම....

තෑගි ලෙස - මල් පොකුරු
ඇගෑලුම් නැතිවට
තැවුල් සිත් නෑ අප ළඟ
නිබඳ සිහිවටන
'මාරු කර ගන්නෙ'
සොදුරු සැමරුම් නැති අය....

ලෝකය පංගුකර
නිසි - නිසි දේ
රිසි අයට බෙදන දවසක,
මහ පොළවයි - රෑ අහසයි අතර
හුදකලාවේ සියලු හිමිකම්
අපටය - අපටමය
නිශාචර රහස් දන්නේ
අපය - අප පමණය.....
සාදය සූදානම්ය - 2009
 
ඩී.එම.ටිම්රාන් කීර්ති                  නෙත ගැටුනේ බූන්දි අඩවියේදී