Monday, August 29, 2011

(කැකිල්ලේ) රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව

ප්‍රියා අවුරුදු ගානක් වැඩ කලේ වෙළඳ කලාපේ. නංගිලා මල්ලිලට උගන්වන්න අම්මගේ බේත් හේත්වලට හැමදේටම වියදම්කලේ ඒ හම්බකරපු දේවල් තමා. නංගිලා මල්ලිලා පවුලෙන් අයින් වෙලා ප්‍රියා අම්මත් එක්ක ගමේ ගෙදර ඉතුරු වෙද්දී අම්ම කල්පනා කළා දුවගේ කලදවසත් පහුවෙන බව. ඒ අස්සේ පහුගිය දවස්වල වෙළඳ කලාපේ ඇවිලුණු ඇවිලිල්ලට අම්මට ලොකු දුව දිගටම ගාමන්ට් යවන්න හිත දුන්නෙත් නෑ. මනමාලයෝ දෙතුන් දෙනෙක් ප්‍රියාව බලන්න ආවත් ඒ එකක්වත් හරි ගියේ නෑ. ඇත්තටම ප්‍රියාගේ වයස එච්චරටම නොපෙනුනත් පරණ ගෙදර වයසනම් හොදට පෙනුනා. ඒ ගැන කල්පනා කරපු ප්‍රියා රස්සාවෙන් අයින්වෙලා අතට ලැබුන ගානත් එක්ක ගේ හදන්න පටන් ගත්තා.
ගුනේරිස් බාස් උන්නැහේට වැඩේ බාර දුන්නා. එක පාරම සිමෙන්ති ටික ගෙන්න ගත්ත. දැන් ටිකෙන් ටික ගේ හැදෙනවා. කාමර කෑල්ලකුයි, කුස්සියයි හද ගත්තු ප්‍රියා පහුගිය දවස් වල ගෙට ගෙවදුනා. ගෙයි ඉතුරු වැඩ ටික කෙරීගෙන ගියා. මෙන්න මේ දවස්වල තමා ප්‍රියාලගේ ගමට ග්‍රීස් යකෙක් ආවයි කියන ආරංචිය අවේ, ඉතින් බාගෙට හදපු ගෙයි නිසා ප්‍රියාගේ අම්මත් හුගක් බය වෙලා හිටියේ දිග නොදුන්න ලොකු කෙල්ල ගැන. අම්මගේ සැකේ හරියටම හරි ගියා පහු ගීය දවසක වැස්ස කඩන්වැටුන වෙලාවක ග්‍රීස් යකා ප්‍රියලගේ ගේ ගාව. අම්මයි දුවයි උන්නේ තද නින්දේ. එක පාරටම ඇහුනු සද්දෙට ප්‍රියාගේ අම්ම ඇහැරුනා. ප්‍රියාවත් කුද්දගෙන අම්ම ආව මොකද වෙලා තියෙන්නේ බලන්න. අලුතින් හදපු බිත්තියක් කඩාගෙන වැටිලා බිමට. පහුවෙනිදා හොයල බලද්දී තමා තේරුනේ ග්‍රීස් යකා බිත්තියට යට වෙලා මැරිලා කියල.
බලනකොට ග්‍රීස් යකා ඉදල තියෙන්නේ ගෙවල් දෙකකට එහායින්. ග්‍රීස් යකාගේ අම්ම ඇවිත් ගම දෙක වෙන්න අඩනවා. ග්‍රීස් යකාගේ අම්ම දුක වාවගන්නම බැරි තැන ගියා රටේ රජ්ජුරුවන්ව මුණ ගැහෙන්න. රටේ රජතුමත් උදේට එක්සයිස් කරලා එහෙම සාටෙකෙකින් මුණ පිහද පිහද ඉන්නවා අරලිය ගහක් යට. ග්‍රීස් යකාගේ අම්ම කියන්න පටන් ගත්තා එයාගේ අදෝනාව. අනේ රජතුමනි අපි බොහොම අහිංසක මිනිස්සු. ගිය පාර චන්දේ දුන්නෙත් ඔබ තුමාට,
කියමු බලන්න දැන් කාරණාව රජතුමා කන දීල අහගෙන ඉන්නවා. ඔන්න ඉතින් පටන් ගත්තා කතාව. අපේ ගෙදරට ගෙවල් දෙකකට එහායින් තියනවා ගෙදරක්. ඒ ගෙදර ඉන්නේ අම්මයි දුවයි මහා සක්කරවට්ටම් දෙකක් . උන් දේශද්‍රෝහියෝ රජතුමනි, මේ ලගකදී පටන් ගත්තා ගෙයක් හදන්න. සල්ලි නම් කොහෙන් හොයාගෙනද මන්දා, සමහරවිට දෙමල ඩයස්පොරාවෙන්ද දන්නේ නෑ.
මේ මේ උදේ පාන්දර ඕවා මතක් කරලා මගේ ප්‍රෙෂර් වැඩි කරන්න එපා.කෙටියෙන් දොඩන්න. රජතුමාට තද වෙලා කියවුනා.
අනේ ඒ හදපු ගෙට යට වෙලා මගේ අහිංසක කොල්ල මළා. ග්‍රීස් යකාගේ අම්මගේ ඇඩිල්ලට රජතුමාගේ හිත උණු වුනා. සංවේදී නායකයෙක්නේ. රජතුමා ග්‍රීස් යකාගේ අම්මගෙන්ම ඇහුව අනේ අම්මේ දැන් මොනවද කෙරෙන්න ඕනේ කියල.
අනේ වෙන මොනවද අර ප්‍රියා කියන සක්කරවට්ටම හිරේ යවල දෙන්න.
සංවේදී පොලිසිය එවෙලේම ගියා ප්‍රියාලගේ ගෙදරට. ප්‍රියාව දාගත්ත ජීප් එකට. ප්‍රියාගේ අම්මත් එන්න දැගලුව. කොහේ එන්නද ජීප් එක ඉගිලුන. ඔන්න රජ මාලිගාවේ අරලිය ගහක් යට නතර කරා. ප්‍රියා හෙමින් හෙමින් රජතුමා ලගට ගියා. ග්‍රීස් යකාගේ අම්මත් දැන් බලාගෙන ඉන්නවා.
තමාගේ නම? රජතුමා අහනවා. ප්‍රියා....
තමුන් මේ උදවිය අදුනනවද? මේ ඇග්නස් නැන්දා අපේ ගෙවල් දෙකකට එහායින් ඉන්නේ. ප්‍රියා ඇග්නස් නැන්දා දිහා බලලා යන්තමට හිනා වුනා. ඇග්නස් අහක බලාගත්ත. ඇත්තද තමුන් හදාපු ගෙට යට වෙලා මේ ඇග්නස්ගේ පුතා මරුන කියන්නේ,
ඔව්...
තමන් වැරදිකරයද? නිවරදිකරයද ? රජතුමාට මේ තීන්දුව ඉවරකරන්න හදිසි වෙලා ඇහුව. අනේ නෑ නෑ මම නෙමෙයි ප්‍රියාට කියා වුනා. මම අවුරුදු ගානක් තිස්සේ කලාපේ රස්සාව කරලා ඉතුරු කර ගත්තු ටිකෙන් ඔය ගේ හදන්න පටන් ගත්තේ. අනේ මං හීනෙන් වත් ඔහොම දෙයක් වෙයි කියල හිතුවේ නෑ. ඔන්න රජ තුමාගේ හිත හරි ගියා. දැන් ඔය ළමය කියන්න බලන්න කව්ද වැරදිකාරය. ප්‍රියා දස අතේ කල්පනා කළා. මං හිතන්නේ රජතුමනි ගේ හදපු ගුනේරිස් බාස් තමා වැරදි කාරයා. ඕකා හොරා. මං හිතන්නේ බාගෙට වැඩ කරලා තමා මේ ගේ කඩා වැටෙන්න ඇත්තේ.
ඔන්න රජතුමාට හිතුන කතාව ඇත්ත කියල. රජතුමා ගුනේරිස් බාස්ව ගෙන්න අණ කළා. ඇග්නස්ටයි, ප්‍රියටයි කළු කෝපියි හැලපයි දීල ගෙදර එව්වා.
ඔන්න ගුනේරිස් බසුන්නෙහේ දැන් මාලිගාව ඉස්සරහ. ආරක්ෂක පුරුෂයෝ බසුන්නෙහේගේ මල්ලට අත දික් කරලා ඇහුව මේ මොනවද කියල. ආයුද! ගුනේරිස් ගත් කටටම කීවා. හැ!! කට්ටියම බය වුනා. පස්සේ ඒ ගැන පරීක්ෂණ කරලා මේ ආයුද ඒ ආයුද නෙමෙයි කියල දැනගෙන ඇතුලට ගත්තා.
රජතුමා පුරුදු පරිදි ගුනේරිස්ගේ විස්තර අහල අන්තිමටම ඇහුව තමන් වැරදිද? නිවැරදිද? කියල.
අපෝ මං නිවරදිය් රජතුමනි මං එදා සිමෙන්ති අන අන ඉන්දැද්දී වතුර කැපුවනේ මං හිතන්නේ වතුර අදින තුමා තමා මේකට වැරදි කාරය. රජතුමා උඩ ගියා. ඇයි දෙය්යනේ එතුමාව තරහ කරගෙන කොහොමද? විරුද්ද පක්ෂේ අදින අංචි වලට පාර්ලිමේන්තු සභාවේදී කෑ ගහන තරමක් කෑ ගහන්නේ එතුමනේ. සමහර විට ඒ අස්සේ වතුර ගැන බලන්න බැරි වෙන්න ඇති. මොනතරං වැඩ කන්දරාවක්ද,
එත් ඉතින් යුක්තිය ඉෂ්ට කරන්න එපාය. වැරදි කාරයා උනොත් ඔන්න ඔහේ තානාපතිකම් දඩුවමක්වත් දීල දානවා. එහෙම හිතාගෙන වතුර අදින තුමාට එන්න කීවා.
වතුර අදින තුමා මාලිගාවට දුවගෙන අවේ වෙන වැඩකට කියල හිතාගෙන මොකද ඒ තුමාට තමන්ගේ රාජකාරිය අමතක වෙලාම ගිහින් තිබ්බේ. රජතුමා ඒ තුමාගේ රාජකාරිය මොකද්ද කියල මතක් කරලා දීල විස්තරේ ඇහුව. එතුමා එක පාරටම අන්දමන්ද වුනා. පස්සේ එහාට මෙහාට කෝල් කරලා එහෙම වැඩක් වුන බව දන ගත්තා. එහෙම එකක් වෙලානේ මහරජතුමනි, එහෙනම් කියනවකො බලන්න ඔහේ වැරදිද? නිවැරදිද? කියල. පොඩ්ඩක් ඉන්න රජතුමනි කියල සේකට්‍රිට කෝල් කරලා බැලුව. රජතුමනි මං නිවැරදි කරයාලු. එදා අර උන්නැහේ ලයිට් කපලලුනේ. මං හිතන්නේ ඒ තුමා තමා වැරදි කාරයා.
මෙච්චර කාලයක් ලයිට් දෙන්නේ වතුරෙන් කියල හිතාගෙන හිටපු රජතුමා එවෙලේ තමා දන ගත්තේ ලයිට් වලින් වතුර එවන්න පුළුවන් කියල.දැන් මොකද කරන්නේ හදිස්සියකට ජාතියයි ආගමයි මතක් කරලා දෙන මනුස්සයනේ. එත් ඉතින් යුක්තිය? ඔන්න ඔහේ ඔය ගෙන්වනවා කියල හිතපු රජතුමා එයාවත් එක්ක එන්න අණ කළා.
ටික වෙලාවකින් රාජපුරුෂයෝ හිස් අතින්ම හැරිලා ආවා. තුමා නිවන් ගිහින්වත්ද? වැඩ වෙන හැටියට ඒක නොවෙන්න විදියක් නෑ රජතුමා ඇහුව . නෑ තාම නෑ රජතුමනි එතුමා ධර්ම රාජ්ජෙකට නිවාඩු ගිහින්. මොකේද ගිහින් තියෙන්නේ? ප්ලේන් එකේ ගිහින් තියෙන්නේ. රජතුමාට වැඩේ අත අරින්නත් බෑ. එහෙනම් ඔය ලයිට් කපන මණ්ඩලේ ලොකු තැනවත් එක්ක එනවලකෝ රජතුමාට ඇනුමකුත් ගියා.
ටික වෙලාවකින් ලයිට් කපන මණ්ඩලේ ලොක්කත් ආවා. රජතුමා විස්තර අහල අන්තිමට ඇහුව පුරුදු ප්‍රශ්නෙම ඇහුව. මං නිවරදිකරය රජතුමනි. කව්ද එහෙනම් වැරදි කාරයා? වැරදිකාරයා අර මේ මේ ගිය සතියේ පෙන්නපන් ස්ටාර්නේ,
පෙන්නපන් ස්ටාර් ඇයි මිනිහ වැරදි? ඇයි එවෙලේ මං පෙන්නපන් ස්ටාර් බැලුවනේ. රජතුමාට ස්ටාර් පෙනුනා. අනේ අහිංසක කොල්ල. මොනවා කරන්නද ඔච්චර කියනවනම් වැරදි ඇතිනේ. ඒ ගමන පෙන්නපන් ස්ටාර් දාපු මල් මාලා පිටින්ම රජමාලිගාවට එක්කන් ආවා
ඔන්න දැන් විස්තරේ කියල කරලා මිනිහගෙන් ඇහුව පුරුදු ප්‍රශ්නෙම.( සුබ පතන්න අමතක උනානේ) පෙන්නපන් ස්ටාර් ඇහුව එයාලත් මට එස් එම එස් එව්වද කියල. ඒවා මං දන්නේ නෑ හලෝ මට චන්දයක්වත් දුන්නේ නැති එව්වෝ දැන් මං යටතේ ඇමති මණ්ඩලේ ඉන්නේ කියල. දැන් කියහන්කෝ වැරදි කාරයද නිවරදිකාරයද කියල රජතුමාට හොදටම තද වෙලා.
මං නෙමේ වැරදිකාරයා මාව පෙන්නපන් ස්ටාර් කරපු මට එස්.එම.එස්. එවපු මහ ජනතාව පෙන්නපන් ස්ටාර් උත්තර දුන්නා ඇගට පතට නොදැනී. ඒ කියපු කතාවට රජතුමාට සතුටු හිතුන. ඕකම මට ගැලපෙන විදිහට හදාගන්න බැරිද? රජතුමා කල්පනා කලා. රජතුමනි ජනතාව තමා වරදකාරයෝ.
කීව කතාවනම් ඇත්ත. එත් ඊළගට කැදවන්නේ කාවද? ජනතාව සේරම ගෙනල්ල උල තියන්නය. පෙන්නපන් ස්ටාර් ගෙදර යවල රජතුමා කල්පනාවට වැටුනා. උදේ ඉදන් රෑ වෙනකන් කල්පනා කලා. කල්පනාවෙන්ම සැතපුන.
රජතුමා අපුරු හීනයක් දැක්ක. ඔන්න මහජනතාව උද්ගෝෂණය කරනවා මාලිගාව වට කරලා. ලංකාව ලිබියාව වගේ වෙලා. අපරාදේ මුන්ව උල තිබ්බේ නැත්තේ රජතුමාට හිතුනා. අරලිය ගස් අස්සෙන් පරිබෝගිකයන්ව කඩේ යවන තුමා දුවගෙන ආවා. මහ රජ තුමනි මාර වැඩක් වෙලානේ, තුමා තාම හති අරිනවා. මොකද්ද බන් වෙලා තියෙන්නේ රජතුමා හිනෙන්ම අහනව. රජතුමනි කව්ද මන්ද එකෙක් බාල සිමෙන්ති ගෙන්නලා. මිනිස්සු හදන හදන ගේ කඩාගෙන වැටෙනවලු.
කොහෙද? ලිබියාවේද?
රජතුමෝ හිනෙන්ද ලංකාවේ, ඉතින් උඹ බය වෙලා මොකද ?
ඒ සිමෙන්ති ගෙනාවේ මගේ අමාත්‍යංශේන්නේ . මල කෙලියයි ඉතින් ඉතින්?
ඉතින් ඉතින් නෙමේ ජනතාව කියනවා බාල බෙහෙත් ගේනවලු, බාල පෙට්‍රල් ගෙනාවලු. දැන් සිමෙන්ති ගෙනවලු. ජනතාවට යකා නැගල ආණ්ඩුව ගෙදර යවන්න ඕනෙලු.
ඔය බාල බාල ඒවා ගෙනවා කියල ඇයි ආණ්ඩුව ගෙදර යවන්නේ? පිස්සුද රජතුමෝ ජනතාව කියනවා ආණ්ඩුවට ගෙදර යන්නම කියල.
ආණ්ඩුව ගෙදර යැව්වත් මාවනම් යවයි කියපු රජතුමා අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා.

Thursday, August 18, 2011


වියපත් නොවුණු ආදරයක් වියත් දැක්මට සත්සර මුසු කළ ගීතය

ගී පද රචකයෝ ගී පද ගොතන්නට ආදරයේ අනුභූතින් සොයා ආදරයේ අහුමුලූ අදිති. යෞවන පේ‍්‍රමයූ, පේ‍්‍රමයේ අභිමන,එහි ශෘංගාරාත්මක පක්‍ෂය,විරහවේ වේදනාව ඔවුහු සිය ගීතවලට නිමිත්ත කර ගනිති. එහෙත් සම්මතයෙන් එපිටට ගිය ගේය පද රචකයෙක් අසමමතයේ හදවතක පිලිසිදගත් ආදරයක් ගැන සිය ගීතය ලියයි. ඔහු ධම්මික බණ්ඩාරයි.

ඔහුට,ඔහුගේ ගීයට නිමිත්තක් මුනගැසුනේ නිසල ගංතෙරකදී හෝ සැදෑ මුහුදු වෙරළකදි නොවේ. තැබෑරුමක අදුරු කාළකණ්නි කොණකදීය. ඔහු වියත්,වියපත් සංගීත ආචාර්යවරයෙකි. හේ සිය හදවතෙහි දුක්ඛ පක්‍ෂය මී විතින් පෙගි කඩා වැටෙන තුරු බෝතල් ගනිමින් හුන්නේය. තමන්ගේ සංගීත පාසලට ඉගෙනීමට පැමිණි තරුණ ලාබාල සිසුවිය කෙරෙහි හටගත් ආදරය ඔහුගේ හිතට විචිත‍්‍රභාවයක් එක්කර තිබුණි. ඒ ආදරය ප‍්‍රකාශිත ආදරයක් නොවේ.එය හටගත්තේත් ගොඩනැුගුනේත් ඔහුගේ හදවත තුළම පමණකි.එහෙත් ඔහු ඇයට ආදරය කළාය. ඇය සංගීත පාසලට නොපැමිණි දවස ඔහුගේ හිත සසල කරවීය. සුපුරුදු වීණාවේ තත් අතර අතරමංවූ ඔහුගේ නෙතට හොරෙන් හිත කවුඵවෙන් එපිටට පියෑඹුවේය. ඒ ඇය මාවත දිගේ පියමනිතැයි සිතාය. ඇගේ සිනහව ඔහුට ගීතයක් විය. එහෙත් එහි තනුව ඔහු දැන සිටියේ නැත. ආදරයේ ගීතය උපදින්නේ තනුවක් මතම නොවේ.

ඔහු ඇයට ශිල්ප ඉගැන්වීය. ඇය සිය ගුරු පියාට පෙරළා ගෞරව කළාය. එය එපමණකි. ඔහුගේ සිත වචනයකින්වත් ඉක්මන් නොවීය. හේ මුනිවත රැක්කේය. ලෝකයාගේ විපරිත බැල්ම හමුවේ මුනිවත රැුක්කේය. ගුරු සිසු සැබැදියාවේ ගෞරවය හමුවේ මුනිවත රැක්කේය. කෙමෙන් උරුම වූ වියපත් බව හමුවේත් ඇගේ පිරිපුන් තාරුණ්‍යය හමුවේත් ඔහු මුනිවත රැක්කේය.

එක් සැදෑවක ඇය සංගීත පාසලට පැමිණියාය. ඇය සිටියේ හද පුරවාගත් සතුටිනි. ඒ සතුටින් ඇගේ මුහුණ විකසිත වී තිබුණි. ඇය තම ගුරු පියාගේ දෙපා නැමැද සිය මංගල ඇරයුම්පත දිගු කළාය. ඇගේ ඒ ඇරයුම ඔහුගේ සිතුවිලි නතර කරවීය. සිත කොහේදෝ තැනක හුදෙකලා කරවීය. තැබෑරුමේ අදුරු මුල්ලට ඔහුව ඇද දැම්මේය.

මේ ප‍්‍රවීණ ආචාර්යවරයාගේ අත්දැකුම සිය ගේය පදවැල තුලින් සහෘද සිත් තුල නෙත්දැකුමක් කරන්නේ අපූරුවටය. ඉකිගසන ගොඵ හදවතක, නො දුටු හරස් කඩක් අප දෑස මානයට ගෙන එන්නේ මේ පද වැලයි.

මේ පද රචකයා ඇය ගැන කියන්නට බොහෝ වදන් වැය කර නැත. එය වචන හතරක ආමන්ත‍්‍රණයකි. එමගින් ඇගේ තරුණබවත් සුන්දරබවත් ආදි බොහෝ දේ සිය වචන මගින් කියා පෑමට ඔහු සමත්ව ඇත. මගේ පුංචි රෝස මල ඔහු ඇයට දෙන නම එයයි. රෝස මල ළපටිය. සුන්දරය. හදවතට ගෙන එන්නේ සෞම්‍ය ආදර හැගුම්ය. මගෙ යන විශේෂණය අගවන්නේ ඔහුගේ සිත ඇය තමා සතු කරගෙන ඇති බවක් නොවේද? එහෙත් ඈ.....? ඇය තමන් ගැන හීනෙන්වත් නොසිතනබව ඔහු දනියි. මන්ද යටකී රෝස මල වෙත එළැඹීමට තමා වියපත්බව වැටිහී ඇති බැවිනි.

ඔහුගේ හිත් අහස අමාවක ය. එය ආලෝකමත් කිරීමට පුන් සදක් අවැසිය. නමුත් මේ සද අහසට නොනැගම වෙනතක යන්නට සූදානම්ය. එහෙත් මේ ආදරවන්තයාගේ හදවතේ කිසි තරහක්,විස්සෝපයක් නොමැත. මේ වියපත්කම ඔහුට උරුමකර දුන් දායාදය එයයි. තාරුණ්‍යය අභිබවා ගිය ඉවසිලිවන්තකමක් ඔහු සතුව ඇත. ඔහු සද බැසයන තුරු බලා සිටීමට සූදානම්ය.
මෙම ගීතය ඔහුගේ තනිකඩ ජීවිතය අපූරුවට කියාපායි. ඔහුගේ හිත ආදරයට සසල වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. ඔහුට ඇත්තේ වෙන කිසිවෙකුට නොකිව් කවියකි. මේ වියපත් සිතෙහි හටගත් කෝඩුකාර ආදර කවිය ඇයට කීමට අවශ්‍යය. නමුත් ඊට ප‍්‍රථමව සද බැසයනු ඇත. එය ඔහු සිහි කරන්නේ උපේක්‍ෂාවෙනි.

මේ ආදරවන්තයාට මහා විසල් මාලිගා නැත. ඇත්තේ පුංචි නවාතැනක් පමණි. එහි ඇය පැමිණෙනු, සරනු දැකීමට ඔහු කැමතිය. කොටින්ම ඇය ඔහුගේ කරගැනීමට ඔහු කැමතිය. එහෙත් ඔහුගේ පරිණතබව, ඇය අනිත්‍යයබව, හිමි නොවනබව වටහා ගනී. කවුඵ පියන් ඇරතබන්න ඔහු කැමතිය. එහෙත් ඇය සුළගකි. එය සිය නවාතන වෙතට හමාවිද යන්න ඹහුට සැකසහිතය. එය හැමුවත් රැදෙනු නැත. ආවාට වඩා ඉක්මණින් යනු ඇත. සුළග කවදාවත් රැුදෙන්නේ නැත. ඇග දැවෙටිමින් ඈතක ඉගිලෙන්නීය. එහෙත් සුළගේ සිසිල ගෙනෙන්නේ සැනසුමකි. ඇය නෑවිත් සිටියාට ඔහු තරහා නැත. නැවතත් ඔහුගේ හදවතේ නැගුන පිවිතුරු ආදරයේ තරම කියා පායි. වියපත් නොවුන ආදරයේ සමීප රූපකයක් සහෘද හදවතට ගෙන එමින් සැබෑ ආදරයේ තරම මේ මේ යැයි පසක් කරන්නට රචකයා වචන වියදම්කර ඇත්තේ ඉවසිලිවන්තවය.
ඩැනිස්ටර් පෙරේරාගේ සංගීතය ගීතයේ රසය නැවතත්, නැවත නැවතත් ඉස්මතු කරවයි. මේ වියපත් බඹරාව සහෘද හදවතට පියාසර කරවන්නේ අමරසිරි පීරිස්ය. ඔහුගේ ගැඹුරු හඩ පෞර්ෂයය. එය ගීතයට සාධාරණයක් ඉටු කර ඇත.