Thursday, August 18, 2011


වියපත් නොවුණු ආදරයක් වියත් දැක්මට සත්සර මුසු කළ ගීතය

ගී පද රචකයෝ ගී පද ගොතන්නට ආදරයේ අනුභූතින් සොයා ආදරයේ අහුමුලූ අදිති. යෞවන පේ‍්‍රමයූ, පේ‍්‍රමයේ අභිමන,එහි ශෘංගාරාත්මක පක්‍ෂය,විරහවේ වේදනාව ඔවුහු සිය ගීතවලට නිමිත්ත කර ගනිති. එහෙත් සම්මතයෙන් එපිටට ගිය ගේය පද රචකයෙක් අසමමතයේ හදවතක පිලිසිදගත් ආදරයක් ගැන සිය ගීතය ලියයි. ඔහු ධම්මික බණ්ඩාරයි.

ඔහුට,ඔහුගේ ගීයට නිමිත්තක් මුනගැසුනේ නිසල ගංතෙරකදී හෝ සැදෑ මුහුදු වෙරළකදි නොවේ. තැබෑරුමක අදුරු කාළකණ්නි කොණකදීය. ඔහු වියත්,වියපත් සංගීත ආචාර්යවරයෙකි. හේ සිය හදවතෙහි දුක්ඛ පක්‍ෂය මී විතින් පෙගි කඩා වැටෙන තුරු බෝතල් ගනිමින් හුන්නේය. තමන්ගේ සංගීත පාසලට ඉගෙනීමට පැමිණි තරුණ ලාබාල සිසුවිය කෙරෙහි හටගත් ආදරය ඔහුගේ හිතට විචිත‍්‍රභාවයක් එක්කර තිබුණි. ඒ ආදරය ප‍්‍රකාශිත ආදරයක් නොවේ.එය හටගත්තේත් ගොඩනැුගුනේත් ඔහුගේ හදවත තුළම පමණකි.එහෙත් ඔහු ඇයට ආදරය කළාය. ඇය සංගීත පාසලට නොපැමිණි දවස ඔහුගේ හිත සසල කරවීය. සුපුරුදු වීණාවේ තත් අතර අතරමංවූ ඔහුගේ නෙතට හොරෙන් හිත කවුඵවෙන් එපිටට පියෑඹුවේය. ඒ ඇය මාවත දිගේ පියමනිතැයි සිතාය. ඇගේ සිනහව ඔහුට ගීතයක් විය. එහෙත් එහි තනුව ඔහු දැන සිටියේ නැත. ආදරයේ ගීතය උපදින්නේ තනුවක් මතම නොවේ.

ඔහු ඇයට ශිල්ප ඉගැන්වීය. ඇය සිය ගුරු පියාට පෙරළා ගෞරව කළාය. එය එපමණකි. ඔහුගේ සිත වචනයකින්වත් ඉක්මන් නොවීය. හේ මුනිවත රැක්කේය. ලෝකයාගේ විපරිත බැල්ම හමුවේ මුනිවත රැුක්කේය. ගුරු සිසු සැබැදියාවේ ගෞරවය හමුවේ මුනිවත රැක්කේය. කෙමෙන් උරුම වූ වියපත් බව හමුවේත් ඇගේ පිරිපුන් තාරුණ්‍යය හමුවේත් ඔහු මුනිවත රැක්කේය.

එක් සැදෑවක ඇය සංගීත පාසලට පැමිණියාය. ඇය සිටියේ හද පුරවාගත් සතුටිනි. ඒ සතුටින් ඇගේ මුහුණ විකසිත වී තිබුණි. ඇය තම ගුරු පියාගේ දෙපා නැමැද සිය මංගල ඇරයුම්පත දිගු කළාය. ඇගේ ඒ ඇරයුම ඔහුගේ සිතුවිලි නතර කරවීය. සිත කොහේදෝ තැනක හුදෙකලා කරවීය. තැබෑරුමේ අදුරු මුල්ලට ඔහුව ඇද දැම්මේය.

මේ ප‍්‍රවීණ ආචාර්යවරයාගේ අත්දැකුම සිය ගේය පදවැල තුලින් සහෘද සිත් තුල නෙත්දැකුමක් කරන්නේ අපූරුවටය. ඉකිගසන ගොඵ හදවතක, නො දුටු හරස් කඩක් අප දෑස මානයට ගෙන එන්නේ මේ පද වැලයි.

මේ පද රචකයා ඇය ගැන කියන්නට බොහෝ වදන් වැය කර නැත. එය වචන හතරක ආමන්ත‍්‍රණයකි. එමගින් ඇගේ තරුණබවත් සුන්දරබවත් ආදි බොහෝ දේ සිය වචන මගින් කියා පෑමට ඔහු සමත්ව ඇත. මගේ පුංචි රෝස මල ඔහු ඇයට දෙන නම එයයි. රෝස මල ළපටිය. සුන්දරය. හදවතට ගෙන එන්නේ සෞම්‍ය ආදර හැගුම්ය. මගෙ යන විශේෂණය අගවන්නේ ඔහුගේ සිත ඇය තමා සතු කරගෙන ඇති බවක් නොවේද? එහෙත් ඈ.....? ඇය තමන් ගැන හීනෙන්වත් නොසිතනබව ඔහු දනියි. මන්ද යටකී රෝස මල වෙත එළැඹීමට තමා වියපත්බව වැටිහී ඇති බැවිනි.

ඔහුගේ හිත් අහස අමාවක ය. එය ආලෝකමත් කිරීමට පුන් සදක් අවැසිය. නමුත් මේ සද අහසට නොනැගම වෙනතක යන්නට සූදානම්ය. එහෙත් මේ ආදරවන්තයාගේ හදවතේ කිසි තරහක්,විස්සෝපයක් නොමැත. මේ වියපත්කම ඔහුට උරුමකර දුන් දායාදය එයයි. තාරුණ්‍යය අභිබවා ගිය ඉවසිලිවන්තකමක් ඔහු සතුව ඇත. ඔහු සද බැසයන තුරු බලා සිටීමට සූදානම්ය.
මෙම ගීතය ඔහුගේ තනිකඩ ජීවිතය අපූරුවට කියාපායි. ඔහුගේ හිත ආදරයට සසල වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. ඔහුට ඇත්තේ වෙන කිසිවෙකුට නොකිව් කවියකි. මේ වියපත් සිතෙහි හටගත් කෝඩුකාර ආදර කවිය ඇයට කීමට අවශ්‍යය. නමුත් ඊට ප‍්‍රථමව සද බැසයනු ඇත. එය ඔහු සිහි කරන්නේ උපේක්‍ෂාවෙනි.

මේ ආදරවන්තයාට මහා විසල් මාලිගා නැත. ඇත්තේ පුංචි නවාතැනක් පමණි. එහි ඇය පැමිණෙනු, සරනු දැකීමට ඔහු කැමතිය. කොටින්ම ඇය ඔහුගේ කරගැනීමට ඔහු කැමතිය. එහෙත් ඔහුගේ පරිණතබව, ඇය අනිත්‍යයබව, හිමි නොවනබව වටහා ගනී. කවුඵ පියන් ඇරතබන්න ඔහු කැමතිය. එහෙත් ඇය සුළගකි. එය සිය නවාතන වෙතට හමාවිද යන්න ඹහුට සැකසහිතය. එය හැමුවත් රැදෙනු නැත. ආවාට වඩා ඉක්මණින් යනු ඇත. සුළග කවදාවත් රැුදෙන්නේ නැත. ඇග දැවෙටිමින් ඈතක ඉගිලෙන්නීය. එහෙත් සුළගේ සිසිල ගෙනෙන්නේ සැනසුමකි. ඇය නෑවිත් සිටියාට ඔහු තරහා නැත. නැවතත් ඔහුගේ හදවතේ නැගුන පිවිතුරු ආදරයේ තරම කියා පායි. වියපත් නොවුන ආදරයේ සමීප රූපකයක් සහෘද හදවතට ගෙන එමින් සැබෑ ආදරයේ තරම මේ මේ යැයි පසක් කරන්නට රචකයා වචන වියදම්කර ඇත්තේ ඉවසිලිවන්තවය.
ඩැනිස්ටර් පෙරේරාගේ සංගීතය ගීතයේ රසය නැවතත්, නැවත නැවතත් ඉස්මතු කරවයි. මේ වියපත් බඹරාව සහෘද හදවතට පියාසර කරවන්නේ අමරසිරි පීරිස්ය. ඔහුගේ ගැඹුරු හඩ පෞර්ෂයය. එය ගීතයට සාධාරණයක් ඉටු කර ඇත.

No comments:

Post a Comment