Monday, September 3, 2018

මේ Life of Pi ගැන....


මේ ලෝකය පිරිලා තියෙන්නේ දේවල් දෙකකින්. ඒ අපි කැමැති දේවල් හා අකැමැති දේවල්වලින්. කැමැති දේවල් තියෙනවා නම් කැමැති සිදුවීම් විතරක් වෙනවා නම් අපි එක්ක ඉන්නේ අපි කැමැතිම අය විතරක් නම් අපි හැමෝම කැමැතියි. නමුත් අවාසනාවකට ඔබ කැමැති වුණත් නැතත් අකමැති දේ කරන්න වෙනවා. අකැමැත්ත අපේ ජීවිතවලම කොටසක් වෙලා. මං මේ පූර්විකාව ගෙනාවේ මං කැමැතිම චිත්‍රපටි ගොන්නෙන් එකක් ගැන කියන්න. චිත්‍රපටියේ නම Life of Pi.

මේ චිත්‍රපටයට පාදක වෙන්නේ Yann Martel 2001 අවුරුද්දෙදි ලියපු Life of Pi කියන පොත. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ang Lee. තිර පිටපත ලියවෙන්නේ David Mageeගේ අතින්. එතකොට Suraj Sharma, Irrfan Khan, Rafe Spall, Tabu, Adil Hussain, Gérard Depardieu කියන නළු නිළි පිරිස රංගන දායකත්වය ලබා දෙනවා. චිත්‍රපටිය තිරගත වෙන්නේ 2012 අවුරුද්දේ. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය Pi Patel. ඔහු තමන් වෙත එන නවකතාකරුවාට තමන්ගේ ජීවිත කතාව හෙළිදරව් කිරීම තුළින් කතාව ගලා ගෙන යනවා. Pi කීවාම අපි කාගෙත් මතකයට එන්නේ ගණිතමය සංකල්පයක් වූ π. Piගේ සැබෑ නම Piscine. ඒ ප්‍රංශයේ සුප්‍රසිද්ධ පිහිනුම් තටාකයක නමක්. එහෙත් piගේ අවාසනාවකට ඔහුගේ කුඩා මිතුරන් ඔහුව අමතන්නේ "Pissing Patel"නමින්. එපමණක් නොවේ ඔහුව සරදමටද ලක් කරනවා. ඔහුට උවමනා වෙනවා මේ සරදම්කාරී නමෙන් ගැලවෙන්න. එතනදි ඔහු අකමැති නමක් වෙනුවට කැමැති නමක් තෝර ගන්නවා. ඒක ලේසි දෙයක් නෙමේ. Piscine, Pi වෙන්නේ සෑහෙන පරිශ්‍රමයකට පස්සේ. ඔහු වැඩෙද්දි තව දුරටත් අපූරු විචක්ෂණශීලී දරුවෙකු ලෙසින් වැඩෙනවා. ඔහුගේ සහෝදරයා සමඟ කළ දඟ වැඩක ප්‍රතිඵලයක් ලෙස ඔහුට කතෝලික පල්ලියට යන්න ලැබෙනවා. එහිදී ඔහු එහි පියතුමා සමඟින් කතා බහකට වැටෙනවා. ඔහු ජේසුස් වහන්සේ හදුනා ගන්නවා. උපතින්ම හිංදු භක්තික පවුලක දරුවෙකු වූ ඔහු හිංදු ආගමට අමතරව ක්‍රිස්තියානි ආගම හා ඉස්ලාම් ආගමට යොමු වෙන්නේ මේ සිදුවීමෙන් පස්සේ. එයට ඔහුගේ පියා කැමැතිවන්නේ නැහැ. එහෙත් පුංචි Pi පවසන්නේ තමාට දෙවියන්ට සමීප වීමට අවශ්‍යබවයි. මේ කාලය තුලදී තවත් අපූරු සිදුවීමක් සිදු වෙනවා. එය Piගේ මුලු ජීවිතයටම බලපෑ බවයි මාගේ අදහස. Piගේ පවුලට ඔවුන්ටම කියා සත්තු වත්තක් තියෙනවා. එහි එක් සාමාජිකයෙක් Piගේ නෙත් සිත් ඇඳ බැඳ තබා ගන්නවා. ඔහු Richard Parker. සැබැවින්ම ඔහු බෙංගාලි කොටියෙක්. අනතුරුදායි ලෙස Richard Parkerට ලං වෙන Piට එම සතාගේ ස්වභාවය අවබෝධ කර දීමට ඔහුගේ පියා කරන්නේ ඔහු බලා සිටියදීම එළුවෙකු Richard Parkerට බිලි කරවීම. මෙය Piගේ සිත තදින් කැළඹූ සිදුවීමක්.ඉන්පසු Piගේ ගති ලක්ෂණ වෙනස් වෙනවා. පියාට අවශ්‍ය අන්දමේ කීකරු දරුවෙකු වෙනවා. එහෙත් Richard Parker ඔහුගේ සිතින් බැහැරව ගියා යැයි සිතන්නට බැහැ. අවුරුදු 16දී පමණ ඔහුට මුණ ගැසෙන ආනන්දිට පවා Richard Parker හදුන්වා දෙනවා. කාලය ගත වෙන්නේ ඉක්මනින්. පියා තීරණය කරනවා සත්තු වත්ත විකුණා දමා සතුන් කිහිප දෙනෙකුත් සමඟ කැනඩාවට යන්නට. Pi මුලදී ඊට අකැමැති වුවත් පවුලේ අයත් සමඟ මේ ගමනට එක් වෙනවා. විශාල නැවක යන මේ ගමන එතරම් සුන්දර නැහැ. නැවේ ගමන සතුන් රෝගී කරවනවා. නැවේ සිටින උද්දච්ච කෝකියාගේ මාංශ ආහාර මේ හිංදු පවුලට රුස්සන්නේ නැහැ. එහෙත් Pi සුළු සුළු අඩු පාඩූ අමතක කර මේ මුහුදු ගමන විඳිනවා. කුඩා කල සිටම ඔහුට ලෝකය රස විදින්නටම සෑදුනු දෑසක් තිබුණු බව නොරහසක්. එහෙත් එක් වරම රාත්‍රියේ ඇති වූ මහා කුණාටුවෙන් නැව මුහුදු බත් වෙනවා. ජීවිතාරක්ෂක බෝට්ටුවට නැගුණු Pi තනිවම මුහුදට කඩා වැටෙන්නේ කලබල වූ සීබ්‍රාවෙකු සමගින්. ඒ සමගම නැව ගිලී යනවා. මහ මීදුම හා ප්‍රචණ්ඩ මුහුදු රළ මැද කළබලයට කකුලක් කඩා ගත් සීබ්‍රාවෙකු සමගින්ඔහු තනි වෙනවා. මීදුම අතරින් යමෙකු බෝට්ටුවට ඇදෙනවා ඔහු දකිනවා. ඒ Richard Parker. තිගැස්සෙන Pi ඔහුව එළවා දමනවා. මීදුම තුරන් වී එලිය වැටුණු පසු ඔහු බෝට්ටුවේ සිටින සාමාජිකයන් දෙස බලනවා. සීබ්‍රා, ඔරේන්ජ් ජූස් නම් ඔරන්ග් ඔටන්ග් සහ හයිනාවෙක්. මේ සතුන් අතරේ බඩගින්න මූලික කර ගත් සටනක් ඇති වෙනවා. Piගේ දෑස් ඉදිරිපිටම හයිනා විසින් සීබ්‍රා ව මරා දමනවා. එය වළක්වන්නට ඉදිරිපත්වන ඔරේන්ජූස්වත් හයිනා විසින් මරා දමනවා. එක්වරම බෝට්ටුවේ යටින් Richard Parker මතු වෙනවා. ඔහු හයිනාව මරා දමනවා. දැන් බෝට්ටුවේ රජු වන්නේ රිචඩ් පාකර්. ඔහු කුරුමානම් අල්ලන්නේ Piට. Pi උපක්‍රම ශිලීව ඔහුගෙන් ඈත් වෙනවා. ඔහු බෝට්ටුවෙන් පිටත ලෑලි එක් කර සාදා ගත් යම් අට්ටාලයක් වැනි දෙයක් රැදී සිටීමට උපකාරි කර ගන්නවා. Pi අවබෝධ කර ගන්නවා තමන්ට මේ කොටියාගෙන් බේරීමට නම් ඔහුගේ කුස පිරවිය යුතු බව. ඔවුන් මාලු අල්ලනවා. ඔහුට ආත්මාරක්ෂක බෝට්ටුවේ ඇති යම් යම් උපකරණ හා කෑම ටින්වලින් කුස පුරවා ගැනීමටත් අට්ටාලය සකසා ගැනීමටත් සෑහෙනවා. එහි පොතක ඇති උපදෙස් අනුව ඔහු ක්‍රියා කරනවා. එහෙත් දවසක අවාසනාවන්ත ලෙස ඔහුට සියල්ල අහිමි වෙනවා. මෙසේ දින ගණන් ගත වෙන්නේ Piට නව අත්දැකීම් රැසක් ලබා දෙමින්. ඔහු මුහුද තුලින් ජීවය පිරුණු නව ලෝකයක් දකිනවා. ඔවුන් අපූරු දූපතකට ගොඩ බසිනවා. එය කොළ පැහැයෙන් බබළන අපූරු දූපතක්. සුන්දර විලක් හා හුරතල් මුගටීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් එහි වෙසෙනවා. මේ අපූරු දූපත රාත්‍රියට මාරක ස්වභාවයක් ගන්නවා. මේ බව Pi ට පෙර හදුනා ගන්නේ Richard Parker. ඔවුන් කෑම බීම රැගෙන මේ දූපතෙන් පිටවෙනවා. එන්න එන්නම Pi වගේම Richard Parker දුර්වල වෙනවා. දැන් මාස ගණනක් ගත වී අවසන්. එක දවසක Richard Parkerට හොඳටම අසාධ්‍ය වෙනවා. Pi ඔහුව උකුලට ගන්නේ කිසිදු බියකින් තොරව. දෙදෙනාම දැන් දුර්වලයි. ඔවුන් ගොඩබිමකට ගසාගෙනයනවා. අමාරුවෙන් වැල්ලට දෙදෙනාම ගොඩ බහිනවා. නමුත් සිදු වෙන්නේ Pi කිසි විටක නොසිතූ දෙයක්. Richard Parker ඔහු අතහැර පසු පස හෝ නොබලා කැලෑවට වදිනවා. මෙය Piට විශාල වේදනාවක්.

එතැන් සිට කතාව වේගයෙන් ගලා යනවා. ඔහුව දකින පිරිසක් රෝහලට රැගෙන යනවා. රෝහලට පැමිණෙන රක්ෂණ නියෝජිතයන්ට ඔහු මේ කතාව පවසනවා. ඔවුන් එය පිළිගන්නේ නැහැ. කොටියෙකු සමඟ බෝට්ටුවක මාස ගණනාවක් සිටීම ඇදහිය නොහැක්කක්. මුගටින් පිරිණු දවල්ට සශ්‍රීක රෑට මාරාන්තික පාවෙන දූපතක් ගැන කිසිවෙකු අසා නෑ. "ඇත්ත කතාව කියන්න."ඔවුන් ඉල්ලා සිටිනවා. Pi ඔහු අකැමැති එහෙත් ඇත්ත කතාව කියන්න පටන් ගන්නවා. ඔහුගේ කතාවේ සත්ව චරිත වෙනුවට මිනිස් චරිත ආදේශ වෙනවා. සීබ්‍රා කියන්නේ ඔවුන් නැවේදී හදුනා ගන්න මස් නොකන බෞද්ධ මගියා. ඔරන්ග් ඔටන්ග් ඔහුගේ මව. නපුරු හයිනා වෙන්නේ නැවේ අප්‍රසන්න කෝකියා. කොටියාට කවුරුන් ආදේශ වන්නට ඇත්ද. ඒ ඔහුයි. Richard Parker යනු Pi Patelය. කෝකියා විසින් කකුල කැඩුණු මගියාත් Piගේ මවත් මරා දමනවා. ඒ කෑම සඳහායි. තමාවත් මරා දැමීමට පෙර Pi කෝකියා මරා දමනවා. ඔබ පිළිගන්නට කැමැති කතා දෙකෙන් කොයි කතාවටද? Pi ලේඛකයාගෙන් අසනවා. ඔහු තෝරා ගන්නේ පළමු කතාවයි. පුදුමයක් නැහැ. රක්ෂණ සමාගම පවා තෝරාගෙන ඇත්තේ පළමු කතාවයි. අපි හැමෝම සුන්දර කතාවලට කැමැතියි. නමුත් යතාර්ථය ඊට හුඟාක් දුරින්. අපි අකැමැති අමිහිරි කතාවත් ඒකමයි. ජීවිතේ ගැන වෙනස්ම කියවීමක් ගේන Life of Pi ඔබත් හොයාගෙන බලන්න.