Sunday, August 17, 2014

ගමන









         මං යමින් හිටියේ කවදාවත් ගිහින් නැති නගරෙකට. බස් එකට නැග්ගේත් නොදන්නා තැනකින්. රාජකාරී අවශ්‍යතාවයකට ඒ පැත්තේ ව්‍යාපාරිකයෙක් මුණ ගැහෙන එක තමයි මගේ ගමනේ අරමුණ උනේ. මං  කොන්දොස්තර මහත්තයට මට බහින්න ඕනේ තැන කියලා මාව එතන බස්සවන්න කිව්වත් මිනිහ උත්තර දුන්නු විදියෙන්ම මට තේරුනා වැඩේ කෙරෙන්නේ නැති විත්තිය.
    මා ගාවින් තවත් කෙනෙක් වාඩි  උනේ ඔය අතරේ. ආච්චි කෙනෙක්. දෙමල තාලෙට සාරිය ඇදල. නළලේ ලොකු රතු පොට්ටුවක් තිබුනා. මේ පැත්තේ කොහොමත් දෙමල ජනගහනය වැඩි. දන්නා කියන අයගෙන් දැන ගත්තු මග සලකුණු එක එක  වෙනවා. ව්‍යාපාරික මහත්තයා මුණ ගැහෙන්න දා ගත්තු වෙලාවත් ලං වෙනවා. ලගද දුරද කියලවත් තේරුමක් නෑ.
    මං ලග උන්නු කෙනාගේ මුණ බැලුවා. බුලත් කහට බැදුණු දත් පේන්න තොල් ඈත් කරලා මා දිහා බැලුවා. සිංහල දන්නවද දන්නේත් නෑ. කරන්න දෙයක් නෑ. මං යන්න නියමිත ව්‍යාපාරික ස්ථානයේ නම කිව්වා. කට අරගෙන මගේ  දිහා බැලුව එයා ඔලුව වැනුවා. දන්නවද? ආයෙත් ඔලුව වැනීමක් විතරයි. මං ජනේලයෙන් ඉවත බැලුවා. පාරේ විස්තර දුන්න කෙනා කිව්ව ඔරලෝසු කනුවත් පහු වුණා. දැන් ලගම ඇති.
    ඒ අතරේ අර ආච්චි තව කෙනෙක් එක්ක සද්දෙට කයිය. කතාව නතර කරලා මා දිහා බැලුවා. මට ඔලුවෙන් කතා කරලා එයත් නැගිට්ට. මං ආච්චි මෙච්චර වෙලා කතා කරපු කෙනා දිහා බැලුවා. එයත් දෙමළ. මැදි වයසේ පිරිමි කෙනෙක්. මා දිහා බලල යන්තමට හිනා වුනා. මං බස් එකේ ශීට් අල්ලාගෙන ආච්චිගේ පස්සෙන් බස්සෙකෙන් බැස්සා.
    බස් එක ඇද්දුවා. දෙමල ආච්චි ලග හිටිය ත්‍රිවිල් මල්ලි කෙනෙක් ගාවට ගිහින් තව මොනවදෝ ඇහුවා. ඒ මල්ලි පාර එහා පැත්තේ තිබ්බ බිල්ඩිමක් පෙන්නුවා. ආච්චිගේ මුණට හිනාවක් ආවේ නොදනුවත්වමයි. ඒ හිනාවෙන්ම මා ගාවට ඇවිත් අර මල්ලි පෙන්නපු බිල්ඩිමම පෙන්නුවා. එක තමයි මං හොයපු තැන. මං අත් ඔරලෝසුව බැලුවා. තව විනාඩි කීපයයි. මං ආච්චිගේ අත් අල්ලාගෙන ස්තුතියි ආච්චියේ කියල පාර මාරු වුණා. ආච්චි හිනාවකින් මං දිහා බලාගෙන උන්නා.
     දුවගෙන ගිය මං පිළිගැනීමේ කවුන්ටරයේ හිටපු ගෑනු ළමයාට මං ආව බව දැනුම් දුන්නා. එයාගේ අවසරයෙන් ලොබියේ වාඩි වෙලා සගරාවක් අතට ගන්න ගමන් පාර දිහා බැලුවේ නිකමට. මට පාර පෙන්නපු ආච්චි තාම බස් නැවතුමේ. ටික වෙලාවක් ගියා. ව්‍යාපාරිකයාත් ඇවිත් සාකච්චාව පටන් ගත්තා. මේක හරිම දුක්ෂර පලාතක් බස් එකක් යන්නෙත් පැය බාගෙන් බාගෙට. ඒ මහත්තය කියනවා. ආච්චි තාම පාරේ. සමහර වෙලාවට පැයකටවත් නෑ. ආච්චි ඉර මුවා කර ගන්න අත අල්ලාගෙන ඉහට උඩින්.
     අපේ සාකච්චාව තව දුර ගියා. පැයක් විතර යන්න ඇති. බස් එකක් නතර කරන සද්දේ ඇහුනා. ආච්චි නගින්න ඇති. බස් එක යනවා පෙනුනා. මං වෙනුවෙන් නතර කරපු ගමන් යන්න ආච්චි ආයෙත් බස් එකට නගින්න ඇති.
ඔව් පැයකට විතර පස්සේ.

No comments:

Post a Comment