Tuesday, October 21, 2014

මතකයිද මගෙ කවිය

රතු පාට පොරෝගෙන
බහින ඉර හරස් කර
වලාකුලු කලාවෙන්
චිත්‍ර ඇදි හැන්දෑවේ
පෙන බුබුලු පුරෝගෙන
ගුමු ගුමුවේ කතන්දර
කුඹුක් මල් නලවගෙන
ගඟ ගලන හැන්දාවේ
හනික ගෙදරට දුවන
කිරිල්ලිගෙ බරසාර
ගීතයේ තනුව ගෙන
කලබලෙන් මම ලීව
ලතාවට කතාවට
මුදු සුලඟෙ තාලයෙන්
වචනයෙන් වචනෙ ගෙන
හරි හිමින් ඔබ වින්ද
හැන්දෑවෙ ආදරය
පද ගානෙ තැවරිච්ච
මං ලිව්ව ඔබ වින්ද
මතකයිද මගෙ කවිය

Sunday, August 17, 2014

ගමන









         මං යමින් හිටියේ කවදාවත් ගිහින් නැති නගරෙකට. බස් එකට නැග්ගේත් නොදන්නා තැනකින්. රාජකාරී අවශ්‍යතාවයකට ඒ පැත්තේ ව්‍යාපාරිකයෙක් මුණ ගැහෙන එක තමයි මගේ ගමනේ අරමුණ උනේ. මං  කොන්දොස්තර මහත්තයට මට බහින්න ඕනේ තැන කියලා මාව එතන බස්සවන්න කිව්වත් මිනිහ උත්තර දුන්නු විදියෙන්ම මට තේරුනා වැඩේ කෙරෙන්නේ නැති විත්තිය.
    මා ගාවින් තවත් කෙනෙක් වාඩි  උනේ ඔය අතරේ. ආච්චි කෙනෙක්. දෙමල තාලෙට සාරිය ඇදල. නළලේ ලොකු රතු පොට්ටුවක් තිබුනා. මේ පැත්තේ කොහොමත් දෙමල ජනගහනය වැඩි. දන්නා කියන අයගෙන් දැන ගත්තු මග සලකුණු එක එක  වෙනවා. ව්‍යාපාරික මහත්තයා මුණ ගැහෙන්න දා ගත්තු වෙලාවත් ලං වෙනවා. ලගද දුරද කියලවත් තේරුමක් නෑ.
    මං ලග උන්නු කෙනාගේ මුණ බැලුවා. බුලත් කහට බැදුණු දත් පේන්න තොල් ඈත් කරලා මා දිහා බැලුවා. සිංහල දන්නවද දන්නේත් නෑ. කරන්න දෙයක් නෑ. මං යන්න නියමිත ව්‍යාපාරික ස්ථානයේ නම කිව්වා. කට අරගෙන මගේ  දිහා බැලුව එයා ඔලුව වැනුවා. දන්නවද? ආයෙත් ඔලුව වැනීමක් විතරයි. මං ජනේලයෙන් ඉවත බැලුවා. පාරේ විස්තර දුන්න කෙනා කිව්ව ඔරලෝසු කනුවත් පහු වුණා. දැන් ලගම ඇති.
    ඒ අතරේ අර ආච්චි තව කෙනෙක් එක්ක සද්දෙට කයිය. කතාව නතර කරලා මා දිහා බැලුවා. මට ඔලුවෙන් කතා කරලා එයත් නැගිට්ට. මං ආච්චි මෙච්චර වෙලා කතා කරපු කෙනා දිහා බැලුවා. එයත් දෙමළ. මැදි වයසේ පිරිමි කෙනෙක්. මා දිහා බලල යන්තමට හිනා වුනා. මං බස් එකේ ශීට් අල්ලාගෙන ආච්චිගේ පස්සෙන් බස්සෙකෙන් බැස්සා.
    බස් එක ඇද්දුවා. දෙමල ආච්චි ලග හිටිය ත්‍රිවිල් මල්ලි කෙනෙක් ගාවට ගිහින් තව මොනවදෝ ඇහුවා. ඒ මල්ලි පාර එහා පැත්තේ තිබ්බ බිල්ඩිමක් පෙන්නුවා. ආච්චිගේ මුණට හිනාවක් ආවේ නොදනුවත්වමයි. ඒ හිනාවෙන්ම මා ගාවට ඇවිත් අර මල්ලි පෙන්නපු බිල්ඩිමම පෙන්නුවා. එක තමයි මං හොයපු තැන. මං අත් ඔරලෝසුව බැලුවා. තව විනාඩි කීපයයි. මං ආච්චිගේ අත් අල්ලාගෙන ස්තුතියි ආච්චියේ කියල පාර මාරු වුණා. ආච්චි හිනාවකින් මං දිහා බලාගෙන උන්නා.
     දුවගෙන ගිය මං පිළිගැනීමේ කවුන්ටරයේ හිටපු ගෑනු ළමයාට මං ආව බව දැනුම් දුන්නා. එයාගේ අවසරයෙන් ලොබියේ වාඩි වෙලා සගරාවක් අතට ගන්න ගමන් පාර දිහා බැලුවේ නිකමට. මට පාර පෙන්නපු ආච්චි තාම බස් නැවතුමේ. ටික වෙලාවක් ගියා. ව්‍යාපාරිකයාත් ඇවිත් සාකච්චාව පටන් ගත්තා. මේක හරිම දුක්ෂර පලාතක් බස් එකක් යන්නෙත් පැය බාගෙන් බාගෙට. ඒ මහත්තය කියනවා. ආච්චි තාම පාරේ. සමහර වෙලාවට පැයකටවත් නෑ. ආච්චි ඉර මුවා කර ගන්න අත අල්ලාගෙන ඉහට උඩින්.
     අපේ සාකච්චාව තව දුර ගියා. පැයක් විතර යන්න ඇති. බස් එකක් නතර කරන සද්දේ ඇහුනා. ආච්චි නගින්න ඇති. බස් එක යනවා පෙනුනා. මං වෙනුවෙන් නතර කරපු ගමන් යන්න ආච්චි ආයෙත් බස් එකට නගින්න ඇති.
ඔව් පැයකට විතර පස්සේ.

Thursday, July 17, 2014

...........මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න…





මතක ඇති කාලෙක ඉදන් ආසාවෙන් අහපු සින්දුවක් ඔන්න ආයෙමත් ඇහෙනවා. විසි කරලා දාපු මතකයක් හිත ඉවුරට ගොඩ උනේ හිතුවේ වත් නැති විදිහට. කාලයක් තිබ්බ අමතක කරන්න බැරි මතකයක් විසි කරන්නවත් තැනක්වත් හොයා ගන්න බැරි උනු. මහවැලියක්වත් තිබ්බේ නෑ දුක කියන්න. මහා වැලියක් නොවුනාට ගම මැද්දෙන්  ගලන 'කුඩා ඔයක්' තිබුනත්, ඔය ඉහත්තාවෙන් විසි කරන මතකේ අපේ ගේ ගාවින් ගොඩ වෙන්න  තිබ්බා.







ඕන දෙයක් වෙන්න කියල කුඩා ඔයාටම මහා මතකයක් විසි කරපු මං කොළඹ ආවේ උඩු ගං බලා එයි කියල හිතපු මතකය ඇහැ නොගටෙන්ට.කාලයක් එක්ක අලුත් අලුත් දේවල් එක එක අත්දැකීම් ජීවිතේට පුරෝ ගත්තත් හිතේ පැත්තක මලකඩ අස්සේ නොදිරාම මතකයක් ඉතිරි නොවුනා නෙමේ. ඉදලා හිටලා ගමට එද්දී මුණ ගැහුණු ගහ කොළ අස්සෙත් අර මතකේ දළු දාල තිබුන කිව්වොත් ඔයත් පුදුම වෙයි.එත් එක එහෙම්මම තමයි. ගමෙන් යද්දිත් ඇදුමේ නෙමේ හිතේ ඇමිණිලා තිබ්බ තුත්තිරි කටු අස්සෙත් ඔය මතකෙම විස එක්ක තිබ්බ. තාමත් හිත අස්සේ ඒ කටු හිත අස්සේ ඇදුම් කනවා.

Monday, April 8, 2013

මට කොහෙද මගේ වුන අහසක්















අහස නිල් පාට දිග වියනක්
සිහින ඇතිරූ ගඟුලක්
දුර යන්න දුර ඈත තිබුනත්
නිල්  පාට දිග අහක්
මට කොහෙද මගේ වුන අහසක්

වලාකුළු තරමටත්  ලොකු
පියපතටත් බර අඩු
හීන ඔස්සේ පිය සලනා
හරිම හිස් හදවතක්
මට කොහෙද එහෙම  හිස් හදවතක්

කඳුළු වැහි වටෙන්නැති
මන්දාරමක් දැක නැති
සිහින විතරක් පිපෙන
විසල් මහා පොළවක්
කොහෙන් මම හොයන්නද එහෙම  මහ පොළවක්

Monday, March 11, 2013

ඉතින් දැන් පලයන්කෝ පීනන්න සල්ලිත් ගෙවාගෙන ක්ලෝරීන් වතුරේ.



පොඩි කාලේ ඉදලම මට පීනන්න පුළුවන්. හේතුව වුනේ අපේ ගෙට පහලින් කුඩා ඔය ගලා ගෙන යාම. ඒ නිසා කවදාවත් අපේ අම්මාට මාව නාවන්න කරදර වෙන්න ඕනේ වුනේ නෑ.එයාට කරදර වෙන්න වුනේ මාව වතුරෙන් ගොඩට ගන්න. පැය ගානක් වතුරේ නටද්දී මටයි මගේ යාළුවො සෙට් එකටයි කරන්න ඇති තරම් සෙල්ලම් තිබුනා. කොච්චර නෑවත් කිසි ලෙඩක් දුකක් තිබ්බේ නෑ.
මං මේ කතාව කිව්වේ ඔය ගැනවත් මගේ පිහිනීම ගැනවත් කියන්න නෙමේ. පහුගිය දවසක මං අපේ ඔෆිස් එකේ කට්ටියත් එක්ක ඉංගිරියේ පැත්තේ ට්‍රිප් එකක් ගියා. අපි නතර වුනේ ඒ පැත්තේ හෝටලේක. එකේ තිබුනා
 නියම පූල් එකක්. ඒක දැක්ක විතරයි වතුරට බහින්නේ නෑ කියල හිටපු මං අනිත් හැමෝටම කලින් වතුරට පැන්නා
කොහොම හරි එදා හිතේ හැටියට පිනුවා අවුරුදු ගානකට පස්සේ.
මං ඉතින් ගෙදර ඇවිත් හොයල බැලුවා ලග පාත ස්විමින් පූල් එකක් කොහෙද තියෙන්නේ කියල . වැඩේ පැවරුවේ අපේ චුටි මල්ලිට මිනිහත් ඉතින් කියපු පරක්කුවෙන් මට පූල් එකක් හොයල දුන්නා. ගේ ලග පාතම හොටෙල් එකක පූල් එකක්. මල්ලි වැඩි හොදටත් එක්කම ගණන් හිලවුත් අහගෙන ඇවිත් තිබුනා. බුදු අම්ම්මෝ...... ඒවායේ ගණන්. මට යකා නැග්ගා. හේතුව පූල් එකේ ගණන් නෙමේ.

කතාව කියන්න ආයෙත් යමුකෝ ගෙට පහල ඔය පැත්තට.
ඔයේ එක එක අය බෙදා ගත්ත මන්කඩවල් තිබුනා. අපේ මංකඩ, ඊට උඩහ බසුන්නේහෙගේ මංකඩ, නොනලගේ මංකඩ, මාස්ටර්ගේ මංකඩ, මැණිකෙලාගේ මංකඩ මේ විදිහට ඉරි ගහල බෙදා ගත්තේ නැති උනත් අපිටම කියල අපි සුහදව බෙදා ගත්තු මංකඩවල් තිබුණා.අපේ මන්කඩේ වතුර පුදුම සීතලක්. මොකද ඔයටම නැමිච්ච්ච මහා කුඹුක් ගස් දෙකක්ම අපේ මන්කඩේ තිබුනා. ඉස්කෝලේ ඇරිලා තද අව්වේ ගෙදර ගියාම පැය ගානක් ඔයේම ඉන්නේ අම්මල හොයන්න එනකම්. ඔයේ වරුනවා ඇති.
 කොහොමින් කොහොම හරි මේ ඔය මගේ ජිවිතේ කොටසක් වෙලා තිබුනා වගේම ගමේ මිනිස්සුන්ටත් උදව් උනා. කොච්චර උදව් උනත් මේ ඔය දැන් ඉන්න මිනිස්සුන්ට මතක කාලේදී එකම එක වතාවය් පිටාර ගලලා තියෙන්නේ. එකත් මම ඉපදෙන්න ඉස්සර.
කොහොමින් කොහොම හරි රටේ ප්‍රසිද්ද මංසන්දියක් ලග තිබ්බ අපේ ගම ටික ටික දියුණු උනා. කඳු කැපුනා, රබර් ගැලෙව්වා, ලොකු හෝටල් එහෙම ගජ රාමෙට පටන් ගත්ත. ඒ හෝටල් වල කුණු කානු සේරම ටික හැරෙව්වේ මේ ඔයට. ගම වගේම ඔයත් වෙනස්  උනා.ඒ වෙද්දී ජල සම්පදානේ වතුර ගමටත් ආවා. දැන් අපේ ගම දියුනුය්. අපේ ගෙදරටත් ජල සම්පදෙනෙන් වතුර ගත්තා. මං ඉස්කෝලේ ඇරිලා ඇවිත් ෂවර් එකෙන් නෑවා. හරකා බල්ලාගේ ඉදන් තමන්ගේ යාන වාහනත් ටැප් වතුර්න් මිනිස්සු හෝදවනවා. මුළු ගමටම ඔය අමතක උනා.
දැන් ආපහු පරණ කතාවටම යමු. අර මන් කලින් කියපු හෝටලෙත් තමන්ගේ කුණු වතර ලට්ට ලොට්ට සේරම හරවන්නේ ඔයට තමයි. ඉතින් දැන් පලයන්කෝ පීනන්න සල්ලිත් ගෙවාගෙන ක්ලෝරීන් වතුරේ.
මේවා හොද පාඩම් ඔය විනාශ වෙනකම්ම බලාගෙන උන්නු අපට.

Thursday, January 3, 2013

සුබ පැතුම් වෙනුවට




කඳුල පමණක් ඉතිරි කර
නික්ම ගිය ඔබට
සුබ පැතුම් මා
කවුරු අත එවන්නද

සුබ උපන් දින වෙනුවට
පතන්නම් මම නිවන් සුව

අම්මා තව කඳුලෙන්
මල්ලි තව තනියෙන්
තාත්තට උහුලන්න බ මේ තරම් සුසුමන්

සුබ උපන් දින වෙනුවට
පතන්නම් මම නිවන් සුව

නිවන් දකිනට පෙර
තවත් එක භවයක
එන්න අපේ ගෙදරට
මල්ලි වී මාගේම

Monday, December 26, 2011

උරුම කඳුලමද?

සියවරක් ඉකි බිද
සෙවූ සිනහව
මිතුරු වෙනකොට
ඔබම දුර හිඳ
කඳුල අයෙත්
මගේ දෝතට
එවන ලස්සන