Monday, March 11, 2013

ඉතින් දැන් පලයන්කෝ පීනන්න සල්ලිත් ගෙවාගෙන ක්ලෝරීන් වතුරේ.



පොඩි කාලේ ඉදලම මට පීනන්න පුළුවන්. හේතුව වුනේ අපේ ගෙට පහලින් කුඩා ඔය ගලා ගෙන යාම. ඒ නිසා කවදාවත් අපේ අම්මාට මාව නාවන්න කරදර වෙන්න ඕනේ වුනේ නෑ.එයාට කරදර වෙන්න වුනේ මාව වතුරෙන් ගොඩට ගන්න. පැය ගානක් වතුරේ නටද්දී මටයි මගේ යාළුවො සෙට් එකටයි කරන්න ඇති තරම් සෙල්ලම් තිබුනා. කොච්චර නෑවත් කිසි ලෙඩක් දුකක් තිබ්බේ නෑ.
මං මේ කතාව කිව්වේ ඔය ගැනවත් මගේ පිහිනීම ගැනවත් කියන්න නෙමේ. පහුගිය දවසක මං අපේ ඔෆිස් එකේ කට්ටියත් එක්ක ඉංගිරියේ පැත්තේ ට්‍රිප් එකක් ගියා. අපි නතර වුනේ ඒ පැත්තේ හෝටලේක. එකේ තිබුනා
 නියම පූල් එකක්. ඒක දැක්ක විතරයි වතුරට බහින්නේ නෑ කියල හිටපු මං අනිත් හැමෝටම කලින් වතුරට පැන්නා
කොහොම හරි එදා හිතේ හැටියට පිනුවා අවුරුදු ගානකට පස්සේ.
මං ඉතින් ගෙදර ඇවිත් හොයල බැලුවා ලග පාත ස්විමින් පූල් එකක් කොහෙද තියෙන්නේ කියල . වැඩේ පැවරුවේ අපේ චුටි මල්ලිට මිනිහත් ඉතින් කියපු පරක්කුවෙන් මට පූල් එකක් හොයල දුන්නා. ගේ ලග පාතම හොටෙල් එකක පූල් එකක්. මල්ලි වැඩි හොදටත් එක්කම ගණන් හිලවුත් අහගෙන ඇවිත් තිබුනා. බුදු අම්ම්මෝ...... ඒවායේ ගණන්. මට යකා නැග්ගා. හේතුව පූල් එකේ ගණන් නෙමේ.

කතාව කියන්න ආයෙත් යමුකෝ ගෙට පහල ඔය පැත්තට.
ඔයේ එක එක අය බෙදා ගත්ත මන්කඩවල් තිබුනා. අපේ මංකඩ, ඊට උඩහ බසුන්නේහෙගේ මංකඩ, නොනලගේ මංකඩ, මාස්ටර්ගේ මංකඩ, මැණිකෙලාගේ මංකඩ මේ විදිහට ඉරි ගහල බෙදා ගත්තේ නැති උනත් අපිටම කියල අපි සුහදව බෙදා ගත්තු මංකඩවල් තිබුණා.අපේ මන්කඩේ වතුර පුදුම සීතලක්. මොකද ඔයටම නැමිච්ච්ච මහා කුඹුක් ගස් දෙකක්ම අපේ මන්කඩේ තිබුනා. ඉස්කෝලේ ඇරිලා තද අව්වේ ගෙදර ගියාම පැය ගානක් ඔයේම ඉන්නේ අම්මල හොයන්න එනකම්. ඔයේ වරුනවා ඇති.
 කොහොමින් කොහොම හරි මේ ඔය මගේ ජිවිතේ කොටසක් වෙලා තිබුනා වගේම ගමේ මිනිස්සුන්ටත් උදව් උනා. කොච්චර උදව් උනත් මේ ඔය දැන් ඉන්න මිනිස්සුන්ට මතක කාලේදී එකම එක වතාවය් පිටාර ගලලා තියෙන්නේ. එකත් මම ඉපදෙන්න ඉස්සර.
කොහොමින් කොහොම හරි රටේ ප්‍රසිද්ද මංසන්දියක් ලග තිබ්බ අපේ ගම ටික ටික දියුණු උනා. කඳු කැපුනා, රබර් ගැලෙව්වා, ලොකු හෝටල් එහෙම ගජ රාමෙට පටන් ගත්ත. ඒ හෝටල් වල කුණු කානු සේරම ටික හැරෙව්වේ මේ ඔයට. ගම වගේම ඔයත් වෙනස්  උනා.ඒ වෙද්දී ජල සම්පදානේ වතුර ගමටත් ආවා. දැන් අපේ ගම දියුනුය්. අපේ ගෙදරටත් ජල සම්පදෙනෙන් වතුර ගත්තා. මං ඉස්කෝලේ ඇරිලා ඇවිත් ෂවර් එකෙන් නෑවා. හරකා බල්ලාගේ ඉදන් තමන්ගේ යාන වාහනත් ටැප් වතුර්න් මිනිස්සු හෝදවනවා. මුළු ගමටම ඔය අමතක උනා.
දැන් ආපහු පරණ කතාවටම යමු. අර මන් කලින් කියපු හෝටලෙත් තමන්ගේ කුණු වතර ලට්ට ලොට්ට සේරම හරවන්නේ ඔයට තමයි. ඉතින් දැන් පලයන්කෝ පීනන්න සල්ලිත් ගෙවාගෙන ක්ලෝරීන් වතුරේ.
මේවා හොද පාඩම් ඔය විනාශ වෙනකම්ම බලාගෙන උන්නු අපට.

Thursday, January 3, 2013

සුබ පැතුම් වෙනුවට




කඳුල පමණක් ඉතිරි කර
නික්ම ගිය ඔබට
සුබ පැතුම් මා
කවුරු අත එවන්නද

සුබ උපන් දින වෙනුවට
පතන්නම් මම නිවන් සුව

අම්මා තව කඳුලෙන්
මල්ලි තව තනියෙන්
තාත්තට උහුලන්න බ මේ තරම් සුසුමන්

සුබ උපන් දින වෙනුවට
පතන්නම් මම නිවන් සුව

නිවන් දකිනට පෙර
තවත් එක භවයක
එන්න අපේ ගෙදරට
මල්ලි වී මාගේම

Monday, December 26, 2011

උරුම කඳුලමද?

සියවරක් ඉකි බිද
සෙවූ සිනහව
මිතුරු වෙනකොට
ඔබම දුර හිඳ
කඳුල අයෙත්
මගේ දෝතට
එවන ලස්සන

Wednesday, October 26, 2011

නිරුත්තර පැණයක්

රෑට කොට්ටය යටින්
සුදු පාට පුරුදු මුදුවක්
හොරෙන් එලියට ඇදෙනවා
මගේ  දුක සැප අහනවා
ඉඳහිට තෙමන
කදුලු බිඳුවක
පුරුඳු සිතල විදිනවා

හැමදාම වගෙ මම
පුරුදු ප්‍රශ්නයක් අහනවා
මේ මුදුව හඳපු
ඒ අත් දෙකට බැරි වුනේ ඇයි
මගේ හිතට කදුලක
බර හුරු කරන්න
මුද්ද වාගේම  කඳුළුවලට
නොපෙඟි ඉන්න

Tuesday, October 25, 2011

සඳ හොරෙන් එබී

සඳවතිය බැස ගියා
කාලෙකට ඉස්සර දවසක
මටත් නොකියම
වෙනම අහසක
වෙනම ලෝකෙක
පායන වග දැනන් උන්නා

"අපිට දැන් පුතෙක් ඉන්නවා
 ලස්සන
මාස තුන හමාරක
පුංචි පුතෙක් ඉන්නවා"

නොහිතු මොහතක
ඇගේ මුණු පොතේ
බිත්තියේ දැක්ක

පුන් සඳක් නොවුනට
අඳුරු මගේ අහසේම
අහිංසක පොඩි තාරකාවක්
සඳා තනියට ඉන්නවා
"අපි ලඟදි බඳිනවා"








Monday, October 3, 2011

පුරවැසියා සහ රට කජු වැල

පුරවැසියාට නාකි ගොන් වැස්සියෙකු උන්නේය. මේ දවස්වල ගෙදර අඩුපාඩු ඉහට උඩින්ය. පුරවැසියාගේ හාමිනේ නම් කියන්නේ මේ වැස්සි මස් කඩයකට හරි විකුණලා කීයක් හරි ගෙදරට ගේන්න කියාය. පුරවැසියාට හොදටම දුකය. ඇයි දෙයියනේ ගෙදරට ගොම පෝර ටික දුන්නේ, දරුවන්ට කිරි ටික දුන්නේ මේ වැස්සි. මොන හිතකින් මස් කඬේට දක්කන්නද?
පවුලේ සමගියට ගරු කරපු පුරවැසියා උදේ පාන්දර වැස්සිවත් දක්කගෙන පාරට බැස්සේය.
ඒ එනකොට රට ඉදන් ආපු රොබට් අයියා මුලච්චි වුණා. ‘‘ආ මිස්ට පුරවැසියා, කොහෙද මේ බෑරක්ද?’’ පුරවැසියා විස්තරේ කීවා. ‘‘ලංකාවේ මිනිස්සු බඩගින්නේ ඉන්නවද?’’ රොබට් ගොයියා ඇහුවා. ‘‘අපේ රට ආසියාවේ ඵෙශ්චර්යය වෙන්නනේ යන්නේ එතකම් අපි ඉවසනවා’’ රොබට් අයියාට ලංකාව ගැන ආස හිතුණා. මේ ලංකාවේ කවදාවත් මානව හිමිකම් කඩවෙන්නේ නෑ. මෙහෙ උන් බඩගින්නේ මලත් රටට දොසක් කියන්නේ නෑ. මිනිහාට ආපහු ඇමරිකාවට යන්නත් හිතුනේ නෑ. මොනවා උනත් මිනිහට පුරවැසියා ගැන දුක හිතුණා. එයා වැස්සිව ඉල්ලාගෙන පීනට් ඇට ටිකක් දුන්නා හප හප යන්න.
මළ කෙළියයි. මොනවා කරන්නද? කමක් නෑ ඇමෙරිකානු පීනට්ස්නේ පුරවැසියා හිත හදාගෙන ආපහු හැරුණා. 

හැබැයි විස්තරේ අහපු හාමිනේට යකා නැග්ගා. දැන් ළමයින්ට කන්නයි බොන්නයි දෙන්නේ මෙනවද? හාමිනේ ඇගට ගොඩවුණා. කන්නයි බොන්නයි නම් ඔය පැකට් කරලා කඬේ තියෙන්නේ. පුරවැසියා හිතුවා විතරයි කීවේ නෑ. හාමිනේ පීනට් ඇට ටික වත්ත පහළට විසි කරා. හාමිනේගේ කෑගැහිල්ල අහගෙන ඉන්න බැරි තැන පුරවැසියත් ගියා වත්ත පහළට.
අර විසිකරපු ඇටවලින් මහ උස රට කජු වැලක් හැදිලා තිබුණා. පුරවැසියා හිතන්නේ බලන්නේ නැතුව උඩටම නැංගා. දැන් පුරවැසියා වලාකුඵවලිනුත් උඩ. පුරවැසියා දැක්කා ලොකූ මාළිගාවක් වලාකුඵ අතර. පුරවැසියා ගියා ඒක ඇතුළටම. කොක්ක කෝ...ක් කෝ...ක් ගාන සද්දේ හැමතැනම. තව පැත්තකින් ඇහෙනවා හරක් උම්බෑ... කියලා කෑගහන සද්දයක්.
හත්වලාමයි පාට පාට කුකුළෝ. අඬේ මං ඇවිත් තියෙන්නේ කුකුල් කොටුවකටද? පුරවැසියා ළග හිටපු කිකිළියක් ළගට ගිහිං පොඩි ටෝකක් දැම්මා. ‘‘නංගි මේ කොහෙද?’’ ‘‘මෙ මෙ මේ දු දු දුටු ගැමුණුතුමාගේ මාළිගාවනේ අයියේ ’’ දුටු ගැමුණුතුමා? ‘‘ඔහ් ඔහ් ඔව් අයියේ. එ එ ඒ උත්තමයා තමා අපිව බේරගත්තේ.’’ එතකොට තමයි පුරවැසියා පින් පොතක් පෙරළ පෙරළ ඉන්න මෑන්ව දැක්කේ. 

‘‘අඩෝ මේ අපේ පුරා මල්ලිනේ.’’
එතකොට තමයි පුරවැසියා දුටු ගැමුණුතුමාව අදුනගත්තේ. 

මේ අපේ පුරවැසි සම්බන්ධන්ධතා නිළධාරිතුමානේ’’ ‘‘නෑඩෝ මං දැන් කුකුල් හා ගව සම්බන්ධතා තුමානේ. මං කාලි අම්මට තියා මෙලෝ යකෙක්ට බය නෑ. අද ඉදන් මගේ ඒරියා එකේ එකෙකුටවත් හරක් මස් කන්න බෑ.’’
‘‘සුපර් මාර්කට් එකෙන් කන අයටත් බැරිද තුමෝ?’’ ඒ පාර ඇහුනේ නෑ වගේ තුමා කුකුළන්ට බා බා ගානවා. නුවන් මල්ලි සීනි නැති තේ එකක් හදාන ආවා. ‘‘ තුමාට දියවැඩියාවවත්ද?’’ පුරවැසියා ඇහුවා. ‘‘මෙවුන් මේ හොර සීනි විකුණනවනේ බං’’ ‘‘ඉතින් ඉතින්?’’ ‘‘මං ඒවා සේරම විනාශ කළා. දැන් මට තේ එකක් බොන්න සීනි නෑ’’ 
‘‘තුමෝ පොඩි ඔත්තුවක් තියේ.’’ පුරවැසියා රහසින් කීවා. ‘‘මොකද්ද බං’’ ‘‘තුමාලගේ පැත්තේ තවත් පොඩි හොර කේස් එකක් තියේ’’ දැන් තුමා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ‘‘ඒකත් සීනි වගේ දෙයක්’’ ‘‘දැන් පුරෝ තෝ මට කියනවද නැද්ද?’’ නුවන් මල්ලිත් ළ`ගට කිට්ටු වුණා. ‘‘මේ කු_ඩු’’ පුරවැසියට එච්චරයි කියන්න ලැබුනේ දෙන්නම උන් තැන්වලින් නැගිට්ටා. ‘‘ඒවා අපි බලා ගන්නම්. තමුසේ නැහෙන්න එපා.’’ දෙන්නම එකපාර කීවා. පුරවැසියා සද්ද නැතුව හීන් සැරේ ගෙදර එන්න පටන් ගත්තා.

Tuesday, September 20, 2011

මල්සරාට














දුරක යන්නට යනවද?
මගේ හදවත ඇමිණී
ඔබේ හී සර අරන්,
මතකයද රැගෙන යනු
මගේ හදවතම හිල් කරන්,
පහුරු ගා
නිය අගින්
ඉතිරි වූ කඳුළු වැල්
හුරලා අර ගනින්,
යන්න ඉස්සර මගෙන්
උදුර ගත් මගේ කවි හිත
අයේ සැරයක් මට දියන්