Sunday, April 26, 2015

චිත්‍රාවගේ ලියමන

හිරු මල එබිණ කවුලූවකින් මැඳුර    වෙත
මට සුපුරුදුයි හිරුගේ මේ ගමනේ     මග
සවසට සඳ කියයි අද ඔබ නේන     වග
මහ රෑ තමයි දවසේ දිග වැඩිම         පැය

මතකද ඔබට අප හමු වුණ       සැණකෙලිය
තරු මල් පිපිණ ඔබගේ        නෙත් සර හමුව
කුමරුනි ඔබේ දැකුමෙන් මගේ        මුව ගොලූව
ගැහුණා හඳවතම සසරෙහි       පැතු ලෙසට

සොයුරන් හත් දෙනාගේ රැකවල්      මැද්දෙන්
මල්සර එවන පණිවිඩ ලැබුණේ          දෑසින්
සුරා පිරුණු ඒ මහා සාදය          අස්සෙත්
සුරා නොලැබ මත් වුනි ඔබගේ         දැක්මෙන්

ඔබ පැමිණියා මා වෙත සිත බැදුණු          පෙමින්
සාදය පිරුණි උණුසුම් වැඩි හැඟුම්        වලින්
සීයක් පහන් එළිකළ ඒ සාද            බිමෙන්
අප සැඟවුණා රැදී දහසක් නෙත්        අතරින්

දිවියේ පළමුවර ආදරයේ රස             වින්ද
කුමරුනි ඔබයි මාගේ ගත සිත             වින්ද
රැය මිහිරිමයි ඔබ හා මා අත්             වින්ද
එතැනින් නිමා විය මා විදි සුව            නින්ද

ඉන් පසු ඔබම හැම සිහිනෙක වැඩ        සිටියා
සුරඟන කතා ගොතමින් මා ළඟ      උන්නා
ඉර හඳ දෙකට ඔබ සමකරමින්            මා හා
මා ඔබේ නමට සිත් ගත් කවි            පද ලීවා

සාදයේ මතක සැණකෙළියකි              හැමදාම
මා ලයේ උපන් කුමරිඳු එයි            නොවරදවාම
උයනේ ගමන් යනෙනා විට         නේක වර
බැලූයේ මහ මඟය ඔබ              එයිදෝ නිතර

මගේ අසනීපේ මට පෙර මව්         හැඳිනුවා
රජ වෙදදුරන් රහසින් ගෙට         කැඳවුවා
කුසයේ සිටින බිලිඳුගේ වග         තුග කීවා
හිමියන් කවුද කවුරුද ගැන         විමසුවා

මම පැවසීමි ඔබගේ තොරතුරු             දන්න
මව් සැරවුයේ ඔබ වේ බිරිඳක්             ඉන්න
මම නම් නොදන්නෙමි හිමියනි ඒ         බින්න
ඔබ මාගේමයි මගේ හඳේ මැදුරෙම         ඉන්න

 ඕකා හමු වුනොත් හිස අරගෙන         එන්න 
පිරිවර රට පුරා යැව්වා බෑ දැන්         බේරෙන්න
චිත්‍රා නැගණි මේ ඔබ අහගෙන             ඉන්න
මේ මැදුරේම කුටියෙම ඔබ පසු         වෙන්න

කියවන්නට වීමි මම මට             ඇහෙන්නට
හඬමි විටින් විට මට දුක             හිතෙන්නට
හීනෙන් දකිමි ඔබ එනවා             මගේ ගෙට
හිනැහෙමි එවිට මාළිඟ බිම             වැහෙන්නට

අප චිත්‍රා කුමාරි වී ඇත             උන්මාද
සිහියක් පතක්  හොදටම දැන්               නැති ගාන
ඇහුණා කීප දෙනෙකුම              කියනා වාද
ඒවා මුසා ඔබ නම් පිලි                  ගත්තාද

පිය රජු දුරක එක් ටැම් මැදුරක්                 කරවා
මා රැඳ වීය මුර කාවල් දැඩි                 කරලා
දොරඟුලූ  වැසී ඇත යදමින් සිර             කරලා
මෙහෙටත් එබේ සඳ සුපුරුදු දුක             කියලා

Wednesday, February 18, 2015

කොළ එලි නැති ජීවිතය


ගිනියම් පාරේ ඈත මෑත දුර
මිරිඟු දියෙන් සිහිනයක් දකින්නී
දුහුවිලි සලුවෙන් ගත දවටාගෙන
හිරුගෙන් සෙවණක් යදින්නී

රතු කහ එලි මැද ඉසිඹුව සොයනා
මාතලී රථයට එබෙන්නී
අද අදිනා වාසනාව අරගෙන
විවර කවුලුවෙන් දෙවන්නී

කාසි කොලය ලැම අස්සේ
හොවා ගෙන ඊලග රථයට දුවන්නී
විගහට වැටෙනා කොල පැහැ රවුමට
හිතෙන් නෙතින් බැන වදින්නී









මහා පාරට මිස ජීවිත පාරට
කොල එලි නැති බව සිතද්දී
සිඟිති දෙතොල් නැති කිරි පුඬු
හැඩුවා කාසි කොලය තව තෙමෙද්දී

වැස්ස


 
වැස්ස හොදටම
අහසෙ පාට තද අලු පාට
පේන්නෙ ඈතට විහිදුන කහ පාට එලි විතරයි
තිත් තිත් තිත් තිත්
මෙන්න වැස්ස කතා කරනවා

සංසාරේ හරි දිගයි තවත් බෑ දුර යන්න



















සුබ පැතුම් හැම අතින්
එලි වෙච්ච එක රෑට
තවත් අවුරුද්දක් ඇවිත්
ඔබ නැතුව සමරන්න
අවුරුද්ද සුබ කොහෙද
ඔබ නැතුව මා එක්ක
සංසාරේ හරි දිගයි
තවත් බෑ දුර යන්න
මට හිතයි නැවතෙන්න
ඔබ නතර කල තැනම
එවිට හැකි වෙයි එකට
සමරන්න එන අවුරුද්ද
 







සිනා සෙමි
ඔබ එක්ක ඔබ සිනාසෙන විටෙක
හඬමි මං
ඔය හිතේ කඳුලු වැල්වල නමට
එමි පස්සෙ
අත නෑර ඔබ යනෙන හැම දුරක
නොඉල්වමි
ඈ නමින් ඉකිගහන බිදුනු හිත

ඔබ

 











මගේ හිත
විනිවිදගෙන
මහ සුලං
හැමූබව
හැබෑව
ඒත්
හිත මැද්දෑව
සදහටම සසල කල
භූමි කම්පාව ඔබය

Tuesday, October 21, 2014

මතකයිද මගෙ කවිය

රතු පාට පොරෝගෙන
බහින ඉර හරස් කර
වලාකුලු කලාවෙන්
චිත්‍ර ඇදි හැන්දෑවේ
පෙන බුබුලු පුරෝගෙන
ගුමු ගුමුවේ කතන්දර
කුඹුක් මල් නලවගෙන
ගඟ ගලන හැන්දාවේ
හනික ගෙදරට දුවන
කිරිල්ලිගෙ බරසාර
ගීතයේ තනුව ගෙන
කලබලෙන් මම ලීව
ලතාවට කතාවට
මුදු සුලඟෙ තාලයෙන්
වචනයෙන් වචනෙ ගෙන
හරි හිමින් ඔබ වින්ද
හැන්දෑවෙ ආදරය
පද ගානෙ තැවරිච්ච
මං ලිව්ව ඔබ වින්ද
මතකයිද මගෙ කවිය