Monday, September 3, 2018

මේ Life of Pi ගැන....


මේ ලෝකය පිරිලා තියෙන්නේ දේවල් දෙකකින්. ඒ අපි කැමැති දේවල් හා අකැමැති දේවල්වලින්. කැමැති දේවල් තියෙනවා නම් කැමැති සිදුවීම් විතරක් වෙනවා නම් අපි එක්ක ඉන්නේ අපි කැමැතිම අය විතරක් නම් අපි හැමෝම කැමැතියි. නමුත් අවාසනාවකට ඔබ කැමැති වුණත් නැතත් අකමැති දේ කරන්න වෙනවා. අකැමැත්ත අපේ ජීවිතවලම කොටසක් වෙලා. මං මේ පූර්විකාව ගෙනාවේ මං කැමැතිම චිත්‍රපටි ගොන්නෙන් එකක් ගැන කියන්න. චිත්‍රපටියේ නම Life of Pi.

මේ චිත්‍රපටයට පාදක වෙන්නේ Yann Martel 2001 අවුරුද්දෙදි ලියපු Life of Pi කියන පොත. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ang Lee. තිර පිටපත ලියවෙන්නේ David Mageeගේ අතින්. එතකොට Suraj Sharma, Irrfan Khan, Rafe Spall, Tabu, Adil Hussain, Gérard Depardieu කියන නළු නිළි පිරිස රංගන දායකත්වය ලබා දෙනවා. චිත්‍රපටිය තිරගත වෙන්නේ 2012 අවුරුද්දේ. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය Pi Patel. ඔහු තමන් වෙත එන නවකතාකරුවාට තමන්ගේ ජීවිත කතාව හෙළිදරව් කිරීම තුළින් කතාව ගලා ගෙන යනවා. Pi කීවාම අපි කාගෙත් මතකයට එන්නේ ගණිතමය සංකල්පයක් වූ π. Piගේ සැබෑ නම Piscine. ඒ ප්‍රංශයේ සුප්‍රසිද්ධ පිහිනුම් තටාකයක නමක්. එහෙත් piගේ අවාසනාවකට ඔහුගේ කුඩා මිතුරන් ඔහුව අමතන්නේ "Pissing Patel"නමින්. එපමණක් නොවේ ඔහුව සරදමටද ලක් කරනවා. ඔහුට උවමනා වෙනවා මේ සරදම්කාරී නමෙන් ගැලවෙන්න. එතනදි ඔහු අකමැති නමක් වෙනුවට කැමැති නමක් තෝර ගන්නවා. ඒක ලේසි දෙයක් නෙමේ. Piscine, Pi වෙන්නේ සෑහෙන පරිශ්‍රමයකට පස්සේ. ඔහු වැඩෙද්දි තව දුරටත් අපූරු විචක්ෂණශීලී දරුවෙකු ලෙසින් වැඩෙනවා. ඔහුගේ සහෝදරයා සමඟ කළ දඟ වැඩක ප්‍රතිඵලයක් ලෙස ඔහුට කතෝලික පල්ලියට යන්න ලැබෙනවා. එහිදී ඔහු එහි පියතුමා සමඟින් කතා බහකට වැටෙනවා. ඔහු ජේසුස් වහන්සේ හදුනා ගන්නවා. උපතින්ම හිංදු භක්තික පවුලක දරුවෙකු වූ ඔහු හිංදු ආගමට අමතරව ක්‍රිස්තියානි ආගම හා ඉස්ලාම් ආගමට යොමු වෙන්නේ මේ සිදුවීමෙන් පස්සේ. එයට ඔහුගේ පියා කැමැතිවන්නේ නැහැ. එහෙත් පුංචි Pi පවසන්නේ තමාට දෙවියන්ට සමීප වීමට අවශ්‍යබවයි. මේ කාලය තුලදී තවත් අපූරු සිදුවීමක් සිදු වෙනවා. එය Piගේ මුලු ජීවිතයටම බලපෑ බවයි මාගේ අදහස. Piගේ පවුලට ඔවුන්ටම කියා සත්තු වත්තක් තියෙනවා. එහි එක් සාමාජිකයෙක් Piගේ නෙත් සිත් ඇඳ බැඳ තබා ගන්නවා. ඔහු Richard Parker. සැබැවින්ම ඔහු බෙංගාලි කොටියෙක්. අනතුරුදායි ලෙස Richard Parkerට ලං වෙන Piට එම සතාගේ ස්වභාවය අවබෝධ කර දීමට ඔහුගේ පියා කරන්නේ ඔහු බලා සිටියදීම එළුවෙකු Richard Parkerට බිලි කරවීම. මෙය Piගේ සිත තදින් කැළඹූ සිදුවීමක්.ඉන්පසු Piගේ ගති ලක්ෂණ වෙනස් වෙනවා. පියාට අවශ්‍ය අන්දමේ කීකරු දරුවෙකු වෙනවා. එහෙත් Richard Parker ඔහුගේ සිතින් බැහැරව ගියා යැයි සිතන්නට බැහැ. අවුරුදු 16දී පමණ ඔහුට මුණ ගැසෙන ආනන්දිට පවා Richard Parker හදුන්වා දෙනවා. කාලය ගත වෙන්නේ ඉක්මනින්. පියා තීරණය කරනවා සත්තු වත්ත විකුණා දමා සතුන් කිහිප දෙනෙකුත් සමඟ කැනඩාවට යන්නට. Pi මුලදී ඊට අකැමැති වුවත් පවුලේ අයත් සමඟ මේ ගමනට එක් වෙනවා. විශාල නැවක යන මේ ගමන එතරම් සුන්දර නැහැ. නැවේ ගමන සතුන් රෝගී කරවනවා. නැවේ සිටින උද්දච්ච කෝකියාගේ මාංශ ආහාර මේ හිංදු පවුලට රුස්සන්නේ නැහැ. එහෙත් Pi සුළු සුළු අඩු පාඩූ අමතක කර මේ මුහුදු ගමන විඳිනවා. කුඩා කල සිටම ඔහුට ලෝකය රස විදින්නටම සෑදුනු දෑසක් තිබුණු බව නොරහසක්. එහෙත් එක් වරම රාත්‍රියේ ඇති වූ මහා කුණාටුවෙන් නැව මුහුදු බත් වෙනවා. ජීවිතාරක්ෂක බෝට්ටුවට නැගුණු Pi තනිවම මුහුදට කඩා වැටෙන්නේ කලබල වූ සීබ්‍රාවෙකු සමගින්. ඒ සමගම නැව ගිලී යනවා. මහ මීදුම හා ප්‍රචණ්ඩ මුහුදු රළ මැද කළබලයට කකුලක් කඩා ගත් සීබ්‍රාවෙකු සමගින්ඔහු තනි වෙනවා. මීදුම අතරින් යමෙකු බෝට්ටුවට ඇදෙනවා ඔහු දකිනවා. ඒ Richard Parker. තිගැස්සෙන Pi ඔහුව එළවා දමනවා. මීදුම තුරන් වී එලිය වැටුණු පසු ඔහු බෝට්ටුවේ සිටින සාමාජිකයන් දෙස බලනවා. සීබ්‍රා, ඔරේන්ජ් ජූස් නම් ඔරන්ග් ඔටන්ග් සහ හයිනාවෙක්. මේ සතුන් අතරේ බඩගින්න මූලික කර ගත් සටනක් ඇති වෙනවා. Piගේ දෑස් ඉදිරිපිටම හයිනා විසින් සීබ්‍රා ව මරා දමනවා. එය වළක්වන්නට ඉදිරිපත්වන ඔරේන්ජූස්වත් හයිනා විසින් මරා දමනවා. එක්වරම බෝට්ටුවේ යටින් Richard Parker මතු වෙනවා. ඔහු හයිනාව මරා දමනවා. දැන් බෝට්ටුවේ රජු වන්නේ රිචඩ් පාකර්. ඔහු කුරුමානම් අල්ලන්නේ Piට. Pi උපක්‍රම ශිලීව ඔහුගෙන් ඈත් වෙනවා. ඔහු බෝට්ටුවෙන් පිටත ලෑලි එක් කර සාදා ගත් යම් අට්ටාලයක් වැනි දෙයක් රැදී සිටීමට උපකාරි කර ගන්නවා. Pi අවබෝධ කර ගන්නවා තමන්ට මේ කොටියාගෙන් බේරීමට නම් ඔහුගේ කුස පිරවිය යුතු බව. ඔවුන් මාලු අල්ලනවා. ඔහුට ආත්මාරක්ෂක බෝට්ටුවේ ඇති යම් යම් උපකරණ හා කෑම ටින්වලින් කුස පුරවා ගැනීමටත් අට්ටාලය සකසා ගැනීමටත් සෑහෙනවා. එහි පොතක ඇති උපදෙස් අනුව ඔහු ක්‍රියා කරනවා. එහෙත් දවසක අවාසනාවන්ත ලෙස ඔහුට සියල්ල අහිමි වෙනවා. මෙසේ දින ගණන් ගත වෙන්නේ Piට නව අත්දැකීම් රැසක් ලබා දෙමින්. ඔහු මුහුද තුලින් ජීවය පිරුණු නව ලෝකයක් දකිනවා. ඔවුන් අපූරු දූපතකට ගොඩ බසිනවා. එය කොළ පැහැයෙන් බබළන අපූරු දූපතක්. සුන්දර විලක් හා හුරතල් මුගටීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් එහි වෙසෙනවා. මේ අපූරු දූපත රාත්‍රියට මාරක ස්වභාවයක් ගන්නවා. මේ බව Pi ට පෙර හදුනා ගන්නේ Richard Parker. ඔවුන් කෑම බීම රැගෙන මේ දූපතෙන් පිටවෙනවා. එන්න එන්නම Pi වගේම Richard Parker දුර්වල වෙනවා. දැන් මාස ගණනක් ගත වී අවසන්. එක දවසක Richard Parkerට හොඳටම අසාධ්‍ය වෙනවා. Pi ඔහුව උකුලට ගන්නේ කිසිදු බියකින් තොරව. දෙදෙනාම දැන් දුර්වලයි. ඔවුන් ගොඩබිමකට ගසාගෙනයනවා. අමාරුවෙන් වැල්ලට දෙදෙනාම ගොඩ බහිනවා. නමුත් සිදු වෙන්නේ Pi කිසි විටක නොසිතූ දෙයක්. Richard Parker ඔහු අතහැර පසු පස හෝ නොබලා කැලෑවට වදිනවා. මෙය Piට විශාල වේදනාවක්.

එතැන් සිට කතාව වේගයෙන් ගලා යනවා. ඔහුව දකින පිරිසක් රෝහලට රැගෙන යනවා. රෝහලට පැමිණෙන රක්ෂණ නියෝජිතයන්ට ඔහු මේ කතාව පවසනවා. ඔවුන් එය පිළිගන්නේ නැහැ. කොටියෙකු සමඟ බෝට්ටුවක මාස ගණනාවක් සිටීම ඇදහිය නොහැක්කක්. මුගටින් පිරිණු දවල්ට සශ්‍රීක රෑට මාරාන්තික පාවෙන දූපතක් ගැන කිසිවෙකු අසා නෑ. "ඇත්ත කතාව කියන්න."ඔවුන් ඉල්ලා සිටිනවා. Pi ඔහු අකැමැති එහෙත් ඇත්ත කතාව කියන්න පටන් ගන්නවා. ඔහුගේ කතාවේ සත්ව චරිත වෙනුවට මිනිස් චරිත ආදේශ වෙනවා. සීබ්‍රා කියන්නේ ඔවුන් නැවේදී හදුනා ගන්න මස් නොකන බෞද්ධ මගියා. ඔරන්ග් ඔටන්ග් ඔහුගේ මව. නපුරු හයිනා වෙන්නේ නැවේ අප්‍රසන්න කෝකියා. කොටියාට කවුරුන් ආදේශ වන්නට ඇත්ද. ඒ ඔහුයි. Richard Parker යනු Pi Patelය. කෝකියා විසින් කකුල කැඩුණු මගියාත් Piගේ මවත් මරා දමනවා. ඒ කෑම සඳහායි. තමාවත් මරා දැමීමට පෙර Pi කෝකියා මරා දමනවා. ඔබ පිළිගන්නට කැමැති කතා දෙකෙන් කොයි කතාවටද? Pi ලේඛකයාගෙන් අසනවා. ඔහු තෝරා ගන්නේ පළමු කතාවයි. පුදුමයක් නැහැ. රක්ෂණ සමාගම පවා තෝරාගෙන ඇත්තේ පළමු කතාවයි. අපි හැමෝම සුන්දර කතාවලට කැමැතියි. නමුත් යතාර්ථය ඊට හුඟාක් දුරින්. අපි අකැමැති අමිහිරි කතාවත් ඒකමයි. ජීවිතේ ගැන වෙනස්ම කියවීමක් ගේන Life of Pi ඔබත් හොයාගෙන බලන්න.

Monday, September 18, 2017

මං බතලියෙක් වූ හැටි.



සෙනෙහස් කුසුම් ආයෙත් පටන් ගද්දි, දැන් මං සෑහෙන්න ලොකු වැඩිහිටියෙක්ය ඒ නිසා මගේ දැක්ම හා ලිවීම වෙනස් වේවි කියල මහ ලොකුවට පුරසාරම් කියල පටන් ගත්තට මොකෝ ඔන්න මං ඉස්සෙල්ලම කියන්න යන්නේ මගේ චූටි කාලේ කතාවක්.
මං මීට කලින් මොන්ටිසෝරි යන්න පටන් අරන් තල්ලුකරන ළමයෙක් වුණ කතාව කීව මතක ඇතිනේ. තල්ලු කරන ළමයා කියන්නේ මට හා හා පුරා කියල වැටුනු පලවෙනි නම(ඔව් ඔව් අම්මයි තාත්තායි දාපු නමට පස්සෙ යාලුවෝ දාපු නම). එතකොට ඉස්කෝලේ එකේ පන්තියට වැටුනම මට යාලුවෝ කීවෙ බතලී කියල. ඇත්ත වශයෙන්ම කියනව නම් බතලී කියල විරුදාවලිය ලබන්න ඕනේවටත් වඩා සුදුසුකම් මට තිබ්බා(පන්තියේ බහුතරයක් ඇටකටූස්ලා වීම හැර) දැන් කියන්න යන්නේ කොහොමද මං බතලියෙක් උනේ කියන එක තමයි.
මාත් ඉතින් චූටි කාලේ අනිත් චුට්ටෝ චුට්ටියෝ වගේම කෑම කන්න හොර කෙල්ලෙක් තමා. අපෙ අම්මාගෙත් හිතෙත් තියෙන්නඇතිනේ බෝල ගෙඩියක් වගේ කෙලි පොඩ්ඩක් ගැන. ඒත් ඉතින් මට කවන්න ගත්තම අපේ අම්මටත් කෑම එපා වෙනතරමටම මං කෑම වර්ජනය කළා. අම්මා බත් ගුලියක් හදාගෙන මගේ කටට තියන කොටම මං ප්‍ ර් ර් ර් ගානවා. එතකොට බත් ටික සට සට ගාල බිම.  ඔන්න අම්මා කුරුල්ලන්ට සමනළයන්ට අඬගහන්න පටන් ගන්නවා. "කුරුල්ලෝ ලේනෝ මෙහේ එන්ඩෝ. මේ ළමයා කන්නේ නැතෝ. කෑම කවන්න එන්ඩෝ''.
 මට මොකෑ ඉතින් මං මීක් නෑ. ඊ ලඟට අපේ අම්ම අඬ ගහන්නේ බිල්ලන්ට. අනේ ඉතින් එක බිල්ලෙක් නෙමේ බිල්ලෝ දහයක් ආවත් මොකද කියල මං කට පියාගෙනම ඉන්නවා.
ඔන්න අම්මා එයාගේ අන්තිම තුරුම්පුව ගහනවා. ''බත් කෑවොත් ලස්සන කතාවක් කියනව කනවද?''
''කතාවක්. කා ගැනද?''
''කිරී කියල ඔයා වගේ ළමයෙක් ගැන.''
ඔන්න ඒ පාර මගේ කට චූට්ටක් විතර ඇරෙනවා. අම්මා අලී කටවල් දෙකක් විතර කවල කතාව පටන් ගන්නවා.
''ඔන්න එකෝමත් එක රටක හිටියා කිරී කියල ගෑණු ළමයෙක්. මේ ළමයා කෙට්ටුම කෙට්ටුයි.
ඒ ඇයි දන්නවද?''
''ම්හු'' මං තව බත් කටක් හපන ගමන්ම උත්තර දෙනවා.
''එයා බොන්නේ කිරි විතරයි. බත් කන්නෙම නෑ. උදේටත් බොන්නේ කිරි දවල්ටත් කිරි රෑටත් කිරි. කිරි බොන ළමයි හොදටම කෙට්ටු වෙනවා. ඒ විතරක් නෙමේ උස යන්නේ නෑ. ලොකු වෙන්නේ නෑ. සෙල්ලම් කරන්න විදියක් නෑ ඇඟට පණක් නෑනේ ඉතින්.
ඉතින් කිරීගේ අම්මා කියනවලු දුවේ මං රසට කෑම හැදුවා බත් කන්න එන්න කියල. ඒත් කිරී බත් කන්න බෑම කියනව. කිරී කිරි නම් බොනවලු නිතර.''
ඔය වෙද්දි ඉතින් බත් පිඟානෙන් බාගයක් විතර අම්මා මගේ බඩට දාලලූ. මං කට ඇරන් කතාව අහනවලු.
''කිරීගේ අත පය කෝටු වගේ. එක දවසක් ලොකු හුළඟක් ආවා. ඒක හරි ලොකූඌ හුළඟක්. ගස් එහෙම හයියෙන් වැණුනා. මේ හුළඟට කිරී එකපාරටම අහු උනාලු. හුළගෙ වේගේ වැඩි වෙන්න වැඩි වෙන්න කිරී අහස උඩටම ගියා.''
''ඉතින් අම්මේ කිරීට මොකො උනේ.''
''දැන් කිරීගේ අම්මයි තාත්තයි අඬ අඬා කිරීව හොයනව ගම වටේම. ඒත් කිරී නෑ.''
''ඉතින් අම්මේ කිරීට මොකො උනේ.''
අපේ අම්මා කිසි කලබලයක් නෑ. දැන් නම් බත් පිඟාන ඉවර වෙන්න ඔන්න මෙන්න.
''කිරී හුළගේ ඈතට ඈතට ගිහින් හුඟාක් දුර ගිහින් බිමට පා වෙලා වැටුනා. කිරී වැටුනේ වෙලකට. වෙලේ තිබ්බ මඩ කිරීගේ ඇඟ හැම තැනම. ''
''ඊට පස්සේ කිරී අම්මල හොයා ගත්තද.'' මගේ මූණත් ඇඬෙන්න වගේ. බත් පිඟානත් ඉවර නිසා අම්මා ප්‍ර්‍රීතිමත් අවසානයක් කිරීට දෙනවා.
''ඔව් පුතේ. බිම වැටිල අඬ අඬ ඉන්න කිරී දකින මාමාලා වගයක් කිරීගේ අම්මටයි තාත්තාටයි දුවන් ඇවිත් කියනව. තාත්තා කිරීව වඩාගෙන ගෙදර එනවා.
හැබැයි එදා ඉදන් කිරී හැමදාම බත් කනවා. බත් කාලා ලොකු වෙලා ඇඟට හයිය ලැබෙනවා. ඊට පස්සේ කොච්චර හුළඟ ආවත් කිරී ගහගෙන යන්නේ නෑ.''
දැන් ඒ කතාව ඉවරයි. අතුරු කතාව ළමයින් තරබාරු වීම. අද වෙද්දී පාසල් වයසේ පුංචි දරුවන් තරබාරු වීම විශාල ප්‍රශ්නයක්. ඒ ඇයි දන්නවද? ළමා වයසින්ම දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවෙන රෝග රැසකට මුහුණ පානවා. පුංචි වයසින්ම අසනීප ගොඩකට මුහුණ පාන දරුවන් ඉන්න රටකට අනාගතයක් කොයින්ද.
ඒ විතරක් නෙමේ සෙල්ලම් කිරීම වගේම එලිපහලියේ කරන ක්‍රියාකාරකම් වලින් මේ දරුවන් අසමත් වෙනවා.ඉතින් ළමයින්ගේ ළමා කාලය ඔවුන්ටත් නොදනිම අහිමි වෙනවා.
අද කාලේ දරුවන් රුපවාහිනියට වීඩියෝ ගෙම්ස්වලටම යොමු වෙලා. ඒ විතරක් නෙමේ රස කාරක ලුණු සීනි තෙල් වැඩිපුර තියෙන කෑම  හා ක්ෂණික කෑමට මේ අය වහ වැටිලා. ව්‍යායාම රහිත අධිවේගී කාල සටහන් වලට හිර වෙලා.
මේ හැමදේම ඔබේ දරුවා රෝගී කරවන්න හේතු.
මදක් සිතා බලන්න. බෝල ගෙඩියක් වගේ දරුවෙක් හුරතල් ලස්සනයි තමයි. ඒත් මේ දරුවන්ගේ අනාගතය එතරම් ලස්සන නොවේවි.

Sunday, September 17, 2017

ආයෙමත් සෙනෙහසින්

කාලයක් තිස්සෙ සෙනහස් කුසුම් පිපුණෙම නැති තරම්. ඉදල හිටල කවි මලක් දෙකක් ගෙනත් දැම්මත් ඒක සාර්ථක බ්ලොග් ලිවීමක් උනේ නැති බව අවංකෙන්ම පිලි ගන්නවා. බ්ලොග් ලියවිල්ලයි බ්ලොග් කියවිල්ලයි පිස්සුවෙන් වගේ කරපු කාලයක් තිබුනා තමයි. ඒත් ඉතින් වැඩ තියෙනකොට ඉහ උස්සන්න බැරි තරමට වැඩත් වැඩ නැතිකොට ඉහ උස්සන්න හිතෙන්නෙ නැති තරමට කම්මැලිකමත් තිබ්බ නිසා බ්ලොග් වැඩේ අත ඇරිලම ගියා. සෙනෙහස් කුසුම් යායම පර වෙලා වල් බිහි වෙලා. ඔයාට විතරක් නෙමේ මටත් මේක අමතක වෙල තිබ්බේ.

දැන් ඔන්න වල් කොටලා සුද්ද බුද්ද කරල ආයෙමත් සෙනෙහස් කුසුම් පටාආන් ගන්නයි හදන්නේ.
අවුරුදු ගානකට පස්සේ ලියන හින්දා මාත් අවුරුදු ගාණකින් මැචුවර් වෙලා අත්දැකීම් ගොඩක් එකතු කරන් ඉන්න එකේ ලිවීම වෙනස් වේවි.
කාලෙකින් නොලීව එකේ ඔන්න අත දිග ඇරල ලියන්නයි හදන්නේ. ඔව්.....
ආයෙමත් සෙනෙහසින්.

Friday, October 16, 2015

වලාවක කතාවක්












අහස මත දඟ කරන ඔහේ පාවී දුවන
පුළුන් බඳු විලාසෙන් උස්ම කඳු වැටි සිඹින
සැහැල්ලුය ඔබ සිතන, ලොවක කඳුලැල් දරන
තවත් දහසක් අතර වලාවක් වෙමි මමද

අඳුර අතරේ කිමිඳ එතෙන්නෙමි ඔබ අසල
නිහඬවම තුරුළු කර සනසවන්නෙමි රැයක
දුක් හීන ගෙන අතට ඔබේ මතකෙන් දුරට
පියඹ යමි මම ඈත, ඔබෙන් තව තව ඈත
ඔබේ දුක නිති අසමි කඳුළු බිඳු රැස් කරමි
කඳුළු කුස පුරෝගෙන දුකට එහෙ මෙහෙ ඇදෙමි
ඔබේ කඳුලින් පෙඟුණු ඔබේ දුක් පණිවිඩයෙ
අයිතිකරුවන් සොයමි පාවි පාවී බෙදමි
මීට පෙර සිතුවාද මේ හඬන මේ වැස්ස
ඔබේ හිතවතෙකුන්ගේ කඳුලින්ම හඬන බව
නපුරු හඳවත් අතර ඉපදිලා මා වෙතට
ඇදෙන අකුණක පහර මා පුපුරා හ‍රින වග

මගේ ගොළු පෙම් ගීය

















ඉරි තැලුණු හිතේ පෙම් කවි කොහෙන් අහුලම්ද
හිරි වැටුණු මතකයෙන් අලුත් මල් පීදෙයිද
ඉදිමිච්ච ඇස් අස්සේ තවත් කඳුලැල් ඇද්ද
මං ඉන්න මේ උයනේ ඔබ කැමැති මල් නැද්ද
හිස් හිතක කවදාක හැඟුම් විත උතුරාද
අගුළු ලූ හඳ මැදුරේ ද්වාර කොහෙවත් නැද්ද
ඇය ගොහින් නිමාකර ඔබ ගැයූ පෙම් ගීය
මගේ ගොළු පෙම් ගීය ඔබට ඇහිලම නැද්ද

තල්ලු කරන ළමයා


















"තල්ලු කරන ළමයා" ළඳරු පාසලට පැමිණ ටික දවසකි. ඈට ළඳරු පාසල හොල්ලන්නට ඒ ටික දවස් ටික හොඳටම ඇති විය. ළමුන් මුල් දවස්වල නම් මේ අලුත් ගෑණූ ළමයා එක්ක මිතුරු වෙන්නට සූදානම් වුවත් දැන් නම් බලන්නේ ඈව මඟ අරින්නමය. අද දවසටම ළමුන් තුන් දෙනෙකු ඈ තල්ලු කර හමාරය. 
ලොකු ටීච කියා දෙන්නේ අලුත් සිංදුවකි. හැමෝම ඇයව අනුකරණය කරමින් මහ සද්දෙට සිංදුව කියයි. තල්ලු කරන ළමයාට දැන් හරි සතුටුය. අද ගිහින් අම්මාට, තාත්තාට, බෝනික්කන්ට කියා දෙන්නට අලුත්ම අලුත් සිංදුවක් තිබේ. ඇය වටපිට බැලුවාය. ළඟම මිතුරිය සද්දෙට සිංදු කියමින් නටයි. මිතුරියගේ සතුටට වැඩි ආයුෂ නැත.
"ටීච… මේ තල්ලු කරන ළමයා මෙන්න මෙයාව තල්ලු කලා."
                                                                          **
" ආ ඔය එන්නේ තල්ලු කරන ළමයාගේ අම්ම"
තල්ලු කරන ළමයාගේ අම්මාට නඩු ගොඩකි. ඒ අතරේ තඩිස්සි වුණ ඔලු ගෙඩි එක්ක ඇඬුම් මූණූ සාක්ෂි දෙති. ඔය ඔක්කොම අස්සේ ආඩම්බර හිනාවකින් එක පිම්මේ අම්මා ලඟට දුවගෙන එන්නේ ඇයයි. හිනා වෙන බෝම්බේ.
"මේ ඔයාගේ දුව නේද. එයාට සෙල්ලම් කරන්න එයාගේ වයසේ කවුරුත් නැද්ද. ඒක තමයි මේ. දුවගේ වයස තාම අවුරුදු තුනයිනේ තාම. එයාව කලින් මොන්ටිසෝරි එක්කන් ආව එක හොඳයි. දැන්නේ එයා එයාගේ වයසේ අයත් එක්ක සෙල්ලම් කරන්නේ"
"එයාට තේරෙන්නෙ නෑ. එයා වෙනකෙනෙක් රිදවනව කියල. එයා එයාගේ බෝනික්කෝ සෙල්ලමේදී බෝනික්කෝ එහා මෙහා කරන තාලෙට එයාගේ යාළුවොත් තල්ලු කරනවා"
තල්ලු කරන ළමයාගේ තල්ලු කරන සෙල්ලම මේ සාකච්චාවෙන් කිහිප දවසකට පසු නිමා විය.
ඒ සෙල්ලම එහෙම්මම නතර කළේ ඒ ආදරණීය ගුරුව‍රියන් තිදෙනාය. ඒ තිදෙනා උපායශීලී හා ඉවසිලි සහගත නොවුණේ නම් නිමා වන්නේ ඇගේ පාසල් ගමනය. එහෙත් වාසනාවට එය එසේ වුවේ නැත. ඇය සතුටින් වසර දෙකක්ම ළඳරු පාසල් ආවාය.
ඒ ගුරුවරියන් තිදෙනා කරදරයට පත් කල 'තල්ලු කරන ළම‍යා" මමය. එතැන් සිට බොහෝ ගුරුවරුන් ගුරුවරියන් මගේ ජීවිතය සාරවත් කිරීමට ගුරුහරුකම් ලබා දුනි. එහෙත් මූලික පදනම දැමූයේ මොන්ටිසෝරියේ ලොකු ටීච, පොඩි ටීච හා හීනී ටීචය.
අද මම විෂය ඒකකයක් ලෙස ළමා මනෝවිද්‍යාව හදාරමි. එහෙත් අනූව දශකයේ මුල් භාගයේ ගමක ළඳරු පාසලක ගුරුවරියන් සතුඒ නිසඟ වටහා ගැනීම අදටත් පුදුමය.
ඉතින් එතැන් සිට මේ දක්වා 'තල්ලු කරන ළමයා" කිසිවෙකු තල්ලු කර බිම නොදැමූ අත‍ර කිසිවෙකුට තල්ලු කළ නොහැකි තරමට ශක්තිමත් විය. ඊට හේතුව එදා මෙදා තුර මුණ ගැසුණු ගුරු මා පියවරුන් ලබා දුන් පන්නරයමය.

අඳුර අතර සොයන මම













මල් තුහින තවරා ගමි
ඉස්මුදුනේ සිට ඇඟට
සීතලය නොතකාම
වැළඳ ගමි මිහිඳුමද
ඇස්මත්තේ මුණ ගැහෙන
සියුම් අඳුරක කිමිද
මඟ හැරුණු මම සොයමි
මට නොදැනෙනා විලස
දෙතොලතර ගුලි ගැහුණ
හිනාවක් වීසි කර
කඳු වැටිය මට එවන
ප්‍රතිරාව යළි අසමි
යළි යළිත් පුරුදු ලෙස
මගෙ කුටියේ ගුලි ගැහෙමි
හිරි වැටුණු අඳුර තුළ
මම මාව සඟවා ගමි